යුනෙස්කෝව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තරයටත් සතිමත් බව ගෙනයනවා -ඇමති සුසිල් ප්‍රේමජයන්ත-

යුනෙස්කෝව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ජාත්‍යන්තරයටත් සතිමත් බව ගෙනයනවා -ඇමති සුසිල් ප්‍රේමජයන්ත-

පාසල් පද්ධතිය තුළ මෙන් ම උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළත් සතිමත්බව වර්ධනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ නිසි මානසික ඒකාග්‍රතාවකින් යුතු ව සිසුන්ට පහසුවෙන් ඉගෙනුම් ක්‍රියාවලියේ නිරත වීමටත් ගුරුභවතුන්ට නිසි ලෙස ඉගැන්වීම් සිදු කිරීමටත් ඉන් අවකාශ සැලසෙන බවයි.

එමගින් අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනස, වඩාත් කාර්යක්ෂ්ම හා ඵලදායී අයුරින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදී තිබෙනවා.

කැලණිය නාගානන්ද බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේ පැවති ගෝලීය සති සමුළුවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් පළ කර තිබෙනවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ වර්තමානයේ ලොව ප්‍රකට වෛද්‍ය විද්‍යාලවල පවා දේශන පැවැත්වීම 30%කට සීමා වන අතර ප්‍රායෝගික අධ්‍යයන කටයුතු සඳහා වැඩි ඉඩක් ලබා දෙන බවයි.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රධානීන්ගේ ද සහභාගීත්වය සහිතව මෙම පරිවර්තනීය අධ්‍යාපන වෙනස සිදු කිරීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා විද්‍යා තාක්ෂණ විෂය පදනම් කරගත් කුමන අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් තුළ වුවත් අවසන් විග්‍රහයේ දී මානසික ඒකාග්‍රතාවට හිමි වන්නේ අද්විතීය ස්ථානයක් බව ද අවධාරණය කළා.

ඒ අනුව තවත් ඉදිරි පියවරක් තබමින් එළඹෙන මැයි 23 දින පැරිස් නුවර දී වෙසක් දිනය සමරන අතරම යුනෙස්කෝ සංවිධානයටත් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Share This