පියෙකු ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා බේරාගනී

පියෙකු ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා බේරාගනී

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් හංවැල්ල – ජල්තර – රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළ දී අත්බෝම්බයක් අතැතිව පියා විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි දරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බේරාගෙන තිබෙනවා.

ඒ, එම බලකායේ අවි හා උපක්‍රම කණ්ඩායම විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදියි.

අවුරුදු 10ක් වයසැති දැරියක සහ අවුරුදු එකහමාරක් වයසැති පිරිමි දරුවා මෙලෙස බේරාගෙන තිබෙනවා.

එම දරුවන් ප්‍රතිකාර සඳහා නවගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

බිරිඳ සමග ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඇය ඝාතනය කිරීමේ අරමුණින් සැකකාර හිටපු යුද හමුදා සෙබලා අත් බෝම්බයක්ද අතැතිව ඊයේ (05) රාත්‍රියේ හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සිය බිරිඳගේ නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී බිරිඳ නිවසින් පලාගොස් ඇති අතර දරුවන් දෙදෙනා පමණක් නිවසේ සිට ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙදෙනා පියා විසින් අත්බෝම්බයක්ද සමග එම නිවසේ ඉහළ කාමරයක සිරකරගෙන සිටින බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

සැකකරු විදේශගතව සිට කෙටි කළකට පෙර මෙරටට පැමිණ ඇති අතර අඹුසැමියන් අතර ඇතිවූ ආරවුල් නිසාවෙන් කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමග ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිට තිබෙනවා.

ඇය මෙලෙස වෙනත් පුද්ගලයෙකු සමග මෙම නිවාස සංකීර්ණයේ රැදී සිටින බවට ලද තොරතුරුවලට අනුව බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙම නිවසට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පසුව බිරිඳ නිවසින් පලායාම නිසා අත්බෝම්බයක්ද අතැතිව මොහු සිය දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන ඇති අතර, දරුවන් බේරාගැනීම සඳහා ඊයේ රාත්‍රී 10.30ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හංවැල්ල පොලිසිය එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 39 හැවිරිදි පියා අත්බෝම්බයද සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This