ගිනි ගහන අව්වේ පිච්චෙමින් ඡන්දේ දෙන්න යන ඉන්දියානුවෝ

ගිනි ගහන අව්වේ පිච්චෙමින් ඡන්දේ දෙන්න යන ඉන්දියානුවෝ

ඉන්දියාවේ මහ මැතිවරණය සාමාන්‍යයෙන් සෑම වසර පහකට වරක් අප්‍රේල් සහ මැයි මාසවලදී පැවැත්වෙන අතර ඡන්දදායකයින් සහ ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් දැඩි උණුසුම සමග කටයුතු කිරීමට පුරුදු වී සිටිනවා.

නමුත් මේ වසරේ, ඉන්දියාව මෙන්ම ආසියාවේ අනෙකුත් රටවල් මෑත වසරවලට සාපේක්ෂව වාර්තාගත උණුසුමක් අත්විඳිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය මාසයේදී, උෂ්ණත්වය ඉහළ යාමත් සමග ඇතිවූ සෞඛ්‍යමය ගැටලු හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියා.

අප්‍රේල් මාසයේදී, ෆෙඩරල් අමාත්‍ය නිතින් ගඩ්කාරි බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රචාරක රැලියක් අමතමින් සිටියදී ක්ලාන්ත වූ අතර, පසුව ඔහු කියා සිටියේ ජනාකීර්ණ ස්ථානය සහ අධික උෂ්ණත්වය තමාට නොසන්සුන්තාවයක් ඇති කළ බවයි.

ඊට දින කිහිපයකට පෙර, උෂ්ණත්වය සෙල්සියස් අංශක 43 ට වඩා ඉහළ ගිය නැගෙනහිර කොල්කටා නගරයේ, කාලගුණ යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කරමින් සිටියදී රූපවාහිනී වර්තකරුවෙකුද මිය ගියා.

ඊට හේතු වී තිබුණේ ස්ටුඩියෝ එක තුළ වායු සමීකරණ පද්ධතිය අක්‍රිය වී උණුසුම අධික වීම බවයි.

මේ සිද්ධීන් මධ්‍යයේත් ඉන්දියානුවන් තම ඡන්දය ප්‍රකාශ කිරීමේ නිරත සිටිනවා.

ඡන්ද මධ්‍යස්ථානවලට පානීය ජලය සැපයීම සහ ඡන්දය ප්‍රකාශ කරන වේලාවන් දීර්ඝ කිරීම මගින් මෙයට පිළියම් යෙදීමට එරට මැතිවරණ බලධාරීහු පියවර ගෙන තිබෙනවා.

නමුත් සමහර විශේෂඥයින් අනුමාන කර ඇත්තේ අධික උෂ්ණත්වය ඡන්දදායකයින්ගේ පැමිණීම අඩුවීමට බලපානු ඇති බවයි.

Share This