ඉන්දු – ශ්‍රී ලංකා දෙවන තරගය අද

ඉන්දු – ශ්‍රී ලංකා දෙවන තරගය අද

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ දෙවන තරගය අද රාත්‍රි 7 ට පූනේහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පළමු 20 යි 20 තරගය තියුණු තරගයකින් අනතුරුව ලකුණු 2 කින් ජයගන්නට ඉන්දියාව සමත්වුණා.

එම තරගයේදී එක් කඩුල්ලක් සහ පන්දු 10 කදී වේගවත් ලකුණු 21 ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට වටිනා සහයක් ලබාදුන් වනිඳු හසරංග අයි.සී.සී. 20 යි 20 තුන්ඉරියව් නවතම ශ්‍රේණිගත කිරීමේ අනුව ස්ථාන 2 ක් ඉදිරියට පැමිණෙමින් පස්වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

වනිඳු 20 යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ පළමු ස්ථානයේයි.

මේ අතර පළමු තරගයේදී ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ සංජු සැම්සන් එම තරගයේදී වම්පාදයේ දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් 20 යි 20 තරගාවලියේ ඉතිරි තරග 2 කම අහිමිවී තිබෙනවා.

ඔහු වෙනුවට ජිතේෂ් ෂර්මා ඉන්දීය සංචිතයට කැඳවීමටයි ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේදී ඉන්දියාවට එරෙහිව 20 යි 20 තරගාවලියක් ජයගෙන නොමැති අතර එහි පැවති තරගාවලීන් 5 න් 4 ක්ම ඉන්දීයාව ජයගෙන ඇති අතර 2009 වසරේ පැවති තරගාවලිය පමණක් ජයපරාජයෙන් තොරව නිමාවී තිබෙනවා.

ඒ අනුව පළමු වරට ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේදී තරගාවලියක් ජයගැනීමටනම් අද තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශ්‍ය තීරණාත්මක වනවා.

කෙසේ වෙතත් 2021 වසරේ ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවති 20-20 තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජයගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

එමෙන්ම අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇතිබවට වාර්තා වනවා.

Share This