ආදායම් බදු ගෙවීමේ ක්‍රම සීමා කරයි

ආදායම් බදු ගෙවීමේ ක්‍රම සීමා කරයි

පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ආදායම් බදු ගෙවීමේ ක්‍රම සීමා කර තිබෙනවා.

ඒ අනුව චෙක්පත් මගින් ගෙවීම තවදුරටත් පිළිගනු නොලබන අතර ක්‍රම තුනක් යටතේ ගෙවීම සිදුකළ හැකි බවයි සඳහන් වන්නේ.

එහිදී මුදල් තැන්පත් කිරීම, වැටුප් ඇණවුම, බැංකු කෙටුම්පත තැන්පත් කිරීම හෝ මාර්ගගත බදු ගෙවීමේ වේදිකාව (OTPP) භාවිතා කිරීමෙන් අදාළ අදායම් බදු ගෙවීමට හැකියාව තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන බදු ගෙවීම ඇතුලු ආදායම් බදු ගෙවීම් චෙක්පත් මගින් සිදුකිරීමට ඉඩ නොලැබෙන බවද මෙහිදී දන්වා සිටිනවා.

කෙසේ නමුත් මීට පෙර බදු ගෙවීම් චෙක්පත් මගින් සිදු කර තිබුණද පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් එම ක්‍රමවේදය හරහා ගෙවීම් පිළිගත් ක්‍රමයක් ලෙස හඳුනාගෙන නොමැති බව සඳහන්.

මෙහිදී ගැසට් පත්‍රයේ දක්වා ඇති ගෙවීම් ක්‍රම අදාළ වන්නේ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධාන යටතේ වන බදු ගෙවීම් සඳහා වන අතර ආයතනික ආදායම් බදු, පුද්ගලික ආදායම් බද්ද, රඳවා ගැනීමේ බද්ද, අත්තිකාරම් පුද්ගලික ආදායම් බදු සහ ප්‍රාග්ධනය සඳහා ඉහත කී ක්‍රමවේදය යොදාගැනීමට හැකියාව තිබෙනවා.

එකතු කළ අගය මත බද්ද, සමාජ ආරක්ෂණ දායක බද්ද, මුද්දර ගාස්තු සහ අනෙකුත් බදු ගෙවීම් චෙක්පත් මගින් දිගටම ගෙවිය හැකි බවයි තවදුරටත් නිවේදනය කරන්නේ.

Share This