ඊශ්‍රායලයේ කෘෂි රැකියා දෙන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ඊශ්‍රායලයේ කෘෂි රැකියා දෙන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසමින් සමාජ මාධ්‍ය හරහා දැන්වීම් පල කළ විදේශ රැකියා ආයතනයක් වටලා පුද්ගලයන් දෙදෙනෙක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ නියෝජිතායතනය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රලාභී ආයතනයක් වීම ද විශේෂත්වයක්.

එම ස්ථානයේ තිබී ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා සඳහා ලබාගත් විදේශ ගමන් බලපත්‍ර 135, පොලිස් වාර්තා, ජීව දත්ත පත්‍රිකා හා අත්සන් කර ඇති පොරොන්දු පත්‍රිකා ඇතුලු ලේඛන රැසක් ද එම නිළධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා හිමිවන්නේ රජයන් දෙක අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන බැවින් ඒ සඳහා බඳවා ගැනීම් සිදු කළ හැක්කේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පමණක් බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

එබැවින් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා වෙනත් කිසිදු පාර්ශ්වයකට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙසත්, එසේ රැකියා සඳහා බඳවා ගැනීම් සිදු කරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය 011 2864241 අංකය ඔස්සේ දැනුවත් කරන ලෙසත් කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Share This