මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය නිල වශයෙන් භාරදෙයි

මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය නිල වශයෙන් භාරදෙයි

ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දීම සිදු කර තිබෙනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට අනුරාධපුරය දක්වා වූ කිලෝමීටර් 65ක දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර එය නිල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ දී එම කටයුතු සිදු කෙරුණු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ව්‍යාපෘති අධ්‍යක්ෂ චින්තක ජයසේකර මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී (වැඩබලන) කීර්ති හේවාපතිරණ මහතා වෙත ප්‍රතිසංස්කරණ අවසන් වූ ව්‍යාපෘතිය නිල වශයෙන් භාරදී තිබෙනවා.

මෙම ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මහව සිට ඕමන්තය දක්වා වූ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 128ක් ප්‍රතිසංස්කරණය කළ අතර මීට පෙර අනුරාධපුරයේ සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදීම සිදුව ඇති බව සඳහන්.

මෙම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 91ක්.

මීට සමගාමීව දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ස්ථාන 7ක මාර්ග වැඩිදියුණු කළ අතර යාපනය, අනුරාධපුර, ගල්ගමුව, තඹුත්තේගම වැනි විශේෂිත ආර්ථික මරමස්ථාන සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ පහසුකම් සැලසෙනු ඇති.

Share This