ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වූවාට තුති -ජනපතිගෙන් දේශපාලන පක්ෂවලට ප්‍රණාමය-

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට සහාය වූවාට තුති -ජනපතිගෙන් දේශපාලන පක්ෂවලට ප්‍රණාමය-

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර තිබෙනවා.

එමෙන්ම ජනපතිවරයා එම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට එක්වන ලෙසද මෙහිදී සියලු දේශපාලන පක්ෂ වෙත ආරාධනා කළා.

අපනයන කේන්ද්‍රීය ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් රට තුළ ගොඩනැඟීමට අවශ්‍ය පරිපාලන සහ ආයතනික ව්‍යුහය මෙම පනත් කෙටුම්පත තුළ අන්තර්ගත බවද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, අධ්‍යාපන හා තාක්ෂණ අමාත්‍යාංශ එකාබද්ධව ක්‍රියාත්මක කරන “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” වැඩසටහන යටතේ පාසල් සහ පිරිවෙන් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම වෙනුවෙන් රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේදී අද (26) පැවති උත්සවයට එක්වෙමින්.

මෙහිදී ඩිජිටල්කරණය රට තුළ ව්‍යාප්ත කිරීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට අනුව තාක්ෂණ අමාත්‍යාංශය විසින් “ඩිජිටල් ආර්ථික ක්‍රමෝපාය 2030” ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව යටිතල පහසුකම්, සම්බන්ධතාවය සහ ප්‍රවේශය, නිපුණතා, සාක්ෂරතාවය, කර්මාන්ත සහ රැකියා, සයිබර් ආරක්ෂාව, ආරක්ෂාව සහ පෞදගලිකත්වය, ඩිජිටල් මූල්‍ය සේවා, සම්බන්ධිත ඩිජිටල් රජය, කර්මාන්ත අංශ සහ ඩිජිටල්කරණය යන මූලික කුලුණු 06ක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති බව සඳහන්.

මෙම කුලුණු යටතේ ඩිජිටල්කරණය බිම් මට්ටමට ගෙනයෑමේ මූලික අදියර කෑගලු දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරුණු අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ පිරිවෙන් 42කට හා පාසල් 62කට සුහුරු පන්ති කාමර උපකරණ කට්ටල බෙදාදීම ද මෙහිදී සිදු කර තිබෙනවා.

මේ අතර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මිලියනයකට අධික සංඛ්‍යාවක් සවිබල ගැන්වීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ QR කේත ක්‍රමය හඳුන්වා දීම වෙනුවෙන් පින්නවල සත්වොද්‍යාන පරිශ්‍රයේ අද (26) පැවති උත්සවයට ද ජනාධිපතිවරයා එක් වී ඇති බව සඳහන්.

Share This