විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනයට ප්‍රමුඛත්වය

විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනයට ප්‍රමුඛත්වය

ඉදිරි අයවැය ලේඛනයේ දී මෙරටට වාහන ආනයනය කිරීමට අවසර දෙන්නේ නම් විදුලි බලයෙන් හා සුර්ය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට අවධානය යොමු කිරීමට කටයුතු කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසනවා

කොළඹ හා මහනුවර නගර බල සීමා හැරුණු කොට අප රටේ සෙසු ප්‍රදේශ සියල්ලම වායු දූෂණයෙන් අවම මට්ටමක පවතින බවත් වායු තත්ත්වයන් මනින ස්ථාන දැනට පවතින්නේ ස්ථාන දෙකක පමණක් නිසා එම ස්ථාන සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසා තිබෙනවා

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබෙන්නේ කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින්

මෙහිදී අමාත්‍යවරයා පවසා තිබෙන්නේ වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වර්ග මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 50කට අඩු මට්ටමක පැවැතිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය බවයි .

එහෙත් ඇතැම් අවස්ථාවල දී මෙම තත්ත්වය කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල 150-165 දක්වා ඉහළ යන අවස්ථා පවතින බවත් විශේෂයෙන්ම මහනුවර නගරය කඳුයායකට මැදිව පවතින නගරයක් බැවින් එහි වායුගෝලයේ පවතින ක්ෂුද්‍ර අංශ ඉවතට ඇදී යාමක් සිදු නොවන බවත්ය

එමෙන්ම කොළඹ නගරය ආසන්නයෙන්ම සාගරය පවතින බැවින් හමා එන සුළං නිසා ක්ෂුද්‍ර අංශ මෙම වායු ගෝලයේ රඳා පැවැතීමක් ද සිදු නොවේ.

නමුත් ඇතැම් අවස්ථාවල දී ඉන්දියාවේ සිට හමා එන සුළං දහරාවන් සමග එහි වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශ කොළඹ නගරයට බලපෑමක් එල්ල කර තිබෙන බවත් වායු දූෂණයෙන් සියයට 65කටම වගකිව යුත්තේ වාහනවලින් නිකුත් කරන දුම් බවත් සඳහන් කරනවා

කෙසේ වුවද මේ රටේ පරිසරයට හානි කරන පුද්ගලයින් රැසකට මේ වනවිටත් නීතිමය පියවර ගෙන ඇති බවත්, සිංහරාජයේ අනවසර ඉදි කිරීමක් සම්බන්ධව මේ දිනවල පවතින කතිකාවට අදාලව තමන් විස්තර සහිත වාර්තාවක් ලබා දෙන ලෙස මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කර සිටිනවා

Share This