කිරුළ අබියස සිටින ඩිල්ෂාන්ගේ බිරිඳගෙන් liveat8.lk වෙත අනාවරණයක්

කිරුළ අබියස සිටින ඩිල්ෂාන්ගේ බිරිඳගෙන් liveat8.lk වෙත අනාවරණයක්

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස්’ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අද (21) සහභාගී වනවා.

එම තරගයේ දී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් විසින්.

තිලකරත්න ඩිල්ෂාන් අද අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සුදානමින් සිටින අවස්ථාවේ ඔහුගේ බිරිඳ මංජුලා තිළිණි ඕස්ට්‍රේලියාවේ සිට ඩිල්ෂාන් පිළිබඳව සහ ඇය දකින ක්‍රිකට් පිළිබඳ සාකච්ඡා කිරීමට liveat8.lk සමග එකතු වුණා.

මෙම සාකච්ඡාවේ දී ඩිල්ෂාන්ගේ ‘ රහස ‘පිළිබඳවත් ඇය අනාවරණය කළා.

 

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය දීම සඳහා ඩිල්ෂාන්ව තෝරා ගැනීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ලෙස ඔබට දැනෙන්නේ කෙලෙසද ?

නායකත්වය දැරීම සම්බන්ධයෙන් මට නිහතමානී සතුටක් තිබෙනවා.අවුරුදු ගණනකට පස්සේ ආපහු රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීමත් එක්ක  ලොකු සතුටක් තිබෙනවා.නිහතමානී සතුටක් ලබනවා.

 

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය දීමට ලැබීම භාග්‍යක් ලෙස ඩිල්ෂාන් හෝ ඔබ සලකනවා ද ?

ඔව්.මම භාග්‍යක් ලෙස සලකනවා. එවැනි තරගාවලියක් තිබ්බ නිසා තමයි දක්ෂතා දක්වන්න අවස්ථාවක් ලැබුණේ.අපිට බලන්න අවස්ථාව ලැබුණේ.ඒ කරුණු නිසා මම භාග්‍යක් ලෙස සලකනවා.

 

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම මේ දිනවල දක්වන දක්ෂතා පිළිබඳ ඔබේ අදහස

දක්ෂතා පිළිබඳව මම අමුතුවෙන් කියන්න ඕනි නෑ.මේ අය ලංකාවේ හිටපු ක්‍රිකට් දැවැන්තයෝ. මට මේ වෙලාවේ එන්නේ ආදරණිය හැඟීමක්. වචන නෑ කියන්න.

 

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් තරග අතර තුළ ඩිල්ෂාන් ඔබට කතාකර තරග ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් කිව්වේ නැද්ද ? කිව්වනම් ඒ මොනවා ද ?

ජයග්‍රහණ සම්බන්ධයෙන් කතා කරනවාට වඩා මාත් එක්ක ඩිල්ෂාන් වැඩියෙන්ම කතා කරලා තියෙන්නේ අවුරුදු ගණනකට පස්සේ එයාට තමන්ගේ අය එක්ක ලංකාව වෙනුවෙන් සෙල්ලම් කරන්න ලැබීමගැන. ලංකාවට ලොකු ජයග්‍රහණයක් ලැබීම ගැන . ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන .

ඇත්තටම විශේෂයෙන් කියන්න ඕනි ඩිල්ෂාන් කියන්නේ හරි ආදරණිය පුද්ගලයෙක්. අවුරුදු ගණනකට පස්සේ තමන්ගේ අය එක්ක ක්‍රීඩා පිටියට ගිහිල්ලා රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම තරම් සතුටක් ඔහුට වෙන තිබිලා නෑ.මම මේ වෙලාවේ නිහතමානිව මතක් කරනවා ඒ ආදරය තමයි මාත් එක්ක කතා කරකර බෙදා ගත්තේ.

 

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුකම් ලැබීම සම්බන්ධයෙන් ඔබට ඇති අදහස

ලොකු ආඩම්බරයක්.මොකද හැම රටකම ලෙජන්ඩ්ස්ලට තමයි නියෝජනය කරන්න අවස්ථාව දීලා තිබෙන්නේ.ලංකාවේ ලෙජන්ඩ්ස්ලා ගිහිල්ලා ඒ හැමෝටම වඩා දක්ෂතා පෙන්වලා තිබෙනවා.අපේ ප්‍රේක්ෂකයෝ වෙනුවෙන් ඒ අය අවසන් තරගයට සුදුසුකම් ලැබීම ගැන මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

 

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තවමත් ලොව හොඳම කණ්ඩායමක් බව පිළිගන්න සිදුවනවා නේද ?

ලොව හොඳම කණ්ඩායමක් බවට පෙන්වන්න අවස්ථාව ලැබී තිබෙනවා. මම හිතනවා ඒක ඔප්පු කරලා පෙන්වයි කියලා.මම සුබ පතනවා.

 

ඩිල්ෂාන් තවමත් හොඳින් ක්‍රීඩා කරනවා.මොකක්ද ඒ රහස

මම පුද්ගලිකව දන්නා රහස තමයි ඩිල්ෂාන් කියන්නේ හරි පුදුම කැප කිරීමක් කරන මනුස්සයෙක්. තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබෙන ආදරය නිසා ඩිල්ෂාන්ට මොන අමාරු තිබ්බත් (ඔලුව පැලිච්ච අවස්ථා තිබ්බා) ඒ මොන වේලාවකදී වුණත් ඒ කිසිම දෙයක් නොතකා තමන්ගේ හැකියාව සියයට සියයක් කණ්ඩායමට දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්.ඒ ආදරය සහ උනන්දුව තමයි මම දන්නා ඩිල්ෂාන්ගේ රහස.

 

ඩිල්ෂාන්  ඇඟේ ක්‍රිකට් තිබිද්දීත් ජාතික කණ්ඩායමෙන් සමු ගත්තේ ඇයි ?

ඇත්තටම ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කළේ හැදිච්ච වටාපිටාව නිසයි.කලකිරීමට වඩා කණගාටුවක් ඩිල්ෂාන්ට තිබ්බේ.ඇතැම් තරගවලදී ගෙදර ඉන්න වුණා. ඩිල්ෂාන් පුද්ගලිකවම මට කියලා තියෙනවා මේ විදිහට ගියොත් ඇත්තටම කලකිරෙනවා,ඊට වැඩිය හොඳයි තව කෙනෙකුට අවස්ථාව දීලා ඉවත් වෙන එක කියලා.

මම ඇත්තටම ඒ දේවල් වැඩියේ කතා කරන්න කැමති නෑ.

 

අද තරගයෙන් ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ගනී කියා ඔබ හිතනවා ද

ජයගනී කියලා හිතනවා.කොහොම වුණත් ජය පරාජය දෙකම බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඩිල්ෂාන් ජයග්‍රහණය කරන්නම කැමති කෙනෙක්.ඔහුට ඕනි ජයගන්න විතරමයි.කොහොම වුණත් ජය පරාජය දෙකම අපට දරා ගන්න සිදු වෙනවා.

 

ඔබේ දියණිය ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද ?

 

ක්‍රිකට්වලට යොමු වීම අහඹු සිදුවීමක්.එයා ක්‍රිකට්වලට යොමු වෙයි කියලා කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ තමයි ඒක දැනගත්තෙත්.පන්ති භාර ගුරුතුමිය කිව්වා ලිමන්සාට ක්‍රිකට්වලට ලොකු ආසාවක් තිබෙනවා කියලා.මගේ යාලුවෙක්ගෙ ක්ලබ් එකක් තිබෙනවා,ඒකට එක්කගෙන යන්න කමක් නැද්ද ඇහුවා.මම එක්කගෙන ගියා.එයා පුරුදු වුනේ එහෙමයි.ඒ දවස්වල ඩිල්ෂාන් හිටියේ ලංකාවේ.ආපුහම ඩිල්ෂානුත් පුදුම වුණා එයා ප්‍රැක්ටිස් කරනවා දැකලා.

 

ඇයට ඩිල්ෂාන්ගෙන් ලැබෙන සහාය මොකක්ද ?

ඩිල්ෂාන් ලංකාවේ ඉඳන් ආවට පස්සේ ලිමංසාගේ දක්ෂතා ගැන දැකලා ලොකු ආසාවක් ආවා.මොකද දුවෙක්.එයා ක්‍රිකට් ගහයි කියලා  අපිට දැනිලා නෑ.දියණියගේ ජීවිතයේ වීරයා වුණේ එයාගේ තාත්තා ඩිල්ෂාන්.එයාව ඕස්ට්‍රේලියාවේ ලාබාලතම ක්‍රීඩිකාව කරන්න ලොකු කැපකිරීමක් තාත්තා කළා.හරිම ආසාවකින් දුවෙක්ව අරගෙන යන තාත්තා කෙනෙක්  මම දකිනවා.

 

නව නිර්මාණයකට දායක වීම සම්බන්ධයෙන් තවම අදහසක් නැත්ද ?

මේ මෑතකදී ගීතයක් නම් පටිගත කළා.ඩිල්ෂාන්ගේත් සින්දුවක් නිකුත් වුණා.අපිට කියන්න බෑ මොනවගේ නිර්මාණවලට දායක වෙන්න ලැබේ ද කියලා.ඒවගේම කියන්න ඕනි, අපි ඕස්ට්‍රේලියාවට ආවා පොඩි කාලයක් ගත කරන්න.ලෝකේ කොහේ ගියත් ලංකාව තරම් නෑ මේවගේ රටකට ආවට පස්සේ හොඳට දැනෙනවා.අපිට තියෙන සම්පත් කොහෙවත් නෑ.

ඒ වගේම මම මේක අවස්ථාවක් කරගන්නවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අවසන් තරගයට සුබ පතන්න.

 

 

 

 

 

 

 

 

 

Share This