දිගු කාලීන කොවිඩ් ගැන තොරතුරු අනාවරණය වේ

දිගු කාලීන කොවිඩ් ගැන තොරතුරු අනාවරණය වේ

(බීබීසී ඇසුරිනි )

කොවිඩ් 19, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද දිනයේ පටන් මෙම වෛරසය පිළිබඳව දියත් වූ විද්‍යාත්මක ගවේෂණ පෙර නොවූ විරූ මට්ටමකින් සිදු වුණා.

මීට පෙර කිසිදාක සිදු නොවූ ආකාරයකින් මේ සඳහා ගෝලීය වශයෙන් පර්යේෂකයෝ ඒකරාශී වී කටයුතු කළ අතර වසර ගණනාවක් ගත වන පර්යේෂණවලට සහ එන්නත් නිෂ්පාදනයට ගතවූයේ මාස කීපයකි.

පසුගිය දොළොස් මාසය ඇතුළත අප ලබාගත් දැනුම මෙසේයි.

කොවිඩ් 19 රෝග ලක්‍ෂණ

වසංගතය ආරම්භයේදී ප්‍රධානතම රෝග ලක්ෂණය ලෙස හඳුනාගෙන තිබුණේ උණ සහ කැස්ස ඇතිවන බවය.

වැඩිකල් නොගොස් තවත් රෝග ලක්ෂණයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලැයිස්තුවට එකතු විය. ආසාදිතයන්ට ගඳ-සුවඳ හා රසය නොදැනී යාම ඒ රෝග ලක්ෂණයයි.

ඉන් පසුව පහත සඳහන් රෝග ලක්ෂණ ද ඇතැම් ආසාදිතයන්ට ඇතිවිය හැකි බවට වාර්තා වුණා.

උගුරේ වේදනාව
හිසරදය
ඇඟපතේ කැක්කුම් සහ රිදුම්
පාචනය
සමේ පැල්ලම් / පලු මතුවීම හෝ ඇඟිලි දුර්වර්ණ වීම
ඇස් රතුවීම හෝ ඇස් කැසීම

රෝග ලක්ෂණ වැඩියෙන් මතුවී වැඩි අසනීප තත්වයක් ඇතිවන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට දැනුම් දුන්නා. හුස්ම ගැනීමේ අපහසුතාවය, කතා කිරීමේ අපහසුතාව, ඇවිදීමේ අපහසුතාව, පපුවේ කැක්කුම හා මානසික ව්‍යාකුලතාවය බරපතල රෝග ලක්ෂණ ලෙස හැඳින්වුණා.

පෙර සිට යම් අසනීප තත්වයන්වලින් පෙළෙමින් සිටි පුද්ගලයන්ට කොවිඩ් 19 වැළඳුන විට ඔවුන්ගේ තත්වය බරපතල වනවා.දියවැඩියාව, පෙනහළු ආබාධ, හදවත් රෝග සහ පිළිකා ආදියෙන් පෙළෙන්නන් මෙම වෛරසයට ගොදුරු නොවීම සඳහා වැඩි ආරක්ෂාවක් සලසා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ එබැවිනුයි.

බොහෝ ආසාදිතයන් ඉක්මනින් සුවය ලබන නමුත් මෙම වෛරසය ඇතැමුන්ගේ පෙනහළු හා හෘදය වස්තුවට දීර්ඝ කාලීන හානි පමුණුවන බව පර්යේෂණවලින් ඔප්පු වුණා.

කොවිඩ් ව්‍යාප්තිය

වසංගතයේ මුල් මාස කීපය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළේ මිනිසුන්ගේ කැස්ස හෝ කිවිසුම් මගින් පිටවන බිඳිති යම් පෘෂ්ඨයක් මත තැන්පත් වීමෙන් පසු එම වෛරසය තවත් කෙනෙකුට බෝවන බවයි.

වෛරසය ආසාදනය වීම වලක්වා ගැනීම සඳහා ගත යුතු ප්‍රධානතම ආරක්‍ෂිත ක්‍රමවේදය, අත සේදීම බව ඔවුන් විසින් හඳුනාගනු ලැබුණේ එම නිසායි. ආසාදිතයන්ගේ දෑත් මගින් පෘෂ්ඨ මතුපිටට වෛරසය පැමිණීම හා එම පෘෂ්ඨ ස්පර්ශ කිරීමෙන් තවත් අයෙකුට බෝවීම ඉන් වලක්වා ගැනීම එහි අරමුණ වුණා.

නමුත්, ‘British Medical Journal’ හි මෑතකදී පළවූ ලිපියක සඳහන් වූයේ පෘෂ්ඨයක් මතුපිට තිබී ‘SARS-CoV-2’ වෛරසය කෙනෙකුට ආසාදනය වීමට ඇති සම්භාවිතාවට වඩා ඉහළ සම්භාවිතාවකින් එම වෛරසය ආශ්වාසය හරහා ශරීරගත විය හැකි බවයි.

ඇත්ත වශයෙන්ම කියතොත්, කොවිඩ් 19 ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ සමීප ආශ්‍රිතයන්ගෙන් වාතයට මුසුවූ වෛරස ආශ්වාස කිරීම මගිනුයි.

වැඩි පිරිසක් ගැවසුණු සහ වාතාශ්‍රය පිටවීමට වැඩි ඉඩක් නොතිබෙන, වැසුණු පරිශ්‍රයක් තුළ අසදිතයෙකු හෝ දෙදෙනෙකු අන් අය සමඟ වැඩි කාලයක් ගතකිරීම හේතුවෙන් මෙය සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

නිවෙස් හෝ වෙනත් ගොඩනැගිලි තුළ එකිනෙකා හමුවීම තහනම් කරමින් අපට සීමා පැනවූයේ එබැවිනුයි.

එන්නත්වලින් බලපෑමක් සිදුවූයේ ද?

එක්සත් රාජධානියේ රෝහල් කරා ඇදී ආ ආසාදිතයන් ප්‍රමාණය අඩුකර ගැනීමට එන්නතෙන් විශාල බලපෑමක් ලැබී තිබෙනවා.

එක්සත් රාජධානියේ සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ පළමු මාත්‍රාව පමණක් හෝ ලබා දී ඇති අතර එමගින් ආසාදිතයන් රෝහල් ගතවීම, මියයාම සහ ජනතාව අතර රෝග ව්‍යාප්තිය අඩු වූ බව දත්ත වාර්තා සනාථ කරනවා.

“මේක ඇත්තටම හොඳ දෙයක්. සැබෑ ලෝකයේ දත්තවලින් පෙන්නුම් කරනවා එන්නත වැඩ කරන බව. එක් මාත්‍රාවකින් පවා එය හොඳින් වැඩ කළා.” යනුවෙන් එක්සත් රාජධානියේ වෛද්‍ය උපදේශකයෙකු වන මහාචාර්ය කැලම් සෙම්පල් සඳහන් කර තිබෙනවා.

සාම්ප්‍රදායිකව ගත් කළ එන්නතක් සංවර්ධනය කිරීමට වසර 10 පමණ ගත වනු ඇති. නමුත්, ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා වැනි කොවිඩ් 19ට එරෙහි එන්නත් වැඩිදියුණු කිරීම සඳහා ගත වූයේ එම කාලයෙන් අංශු මාත්‍රයක් පමණි. මුදල් ප්‍රතිපාදන වැඩිවීම, නිලධාරිවාදය අඩුවීම සහ නවීන තාක්ෂණයේ පිහිට ලැබීම එය වේගවත් වීමට හේතු වුණා.

ඒ කෙසේ වෙතත් එම එන්නත් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සඳහා මස කීපයක් ගත වුණා. එම එන්නත ලබා ගැනීමට වසරකට වැඩි කාලයක් බලා සිටීමට ඇතැම් රටවල මිනිසුන්ට සිදුවනු ඇති.

එන්නත් බෙදා හදා ගැනීම පිළිබඳව සලකා බැලීමේ දී ගෝලීය වශයෙන් බොහෝ අසමානතාවයන් පැවතුණා. දිළිඳු සහ ධනවත් රාජ්‍යයන් අතර එන්නත බෙදී ගිය ආකාරය විවේචනය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ එහි “විමතිය දනවන අසමානතාවයක්” පවතින බවයි.

කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සඳහා එන්නතින් විශාල පිටුවහලක් ලැබෙන බව පවසන නමුත් ප්‍රතිශක්තිය සඳහා සිරුරේ පවතින ප්‍රතිදේහ කාලයත් සමඟ වියැකී යනු ඇති. එබැවින් එන්නතකින් සදාතනික ආරක්ෂාවක් නොලැබේ.

‘දිගු කාලීන කොවිඩ්’

කොවිඩ් 19 වැළඳී මාස ගණනක් ගතවීමෙන් පසුව ද සැලකිය යුතු පිරිසක් තවමත් රෝග ලක්ෂණ ගණනාවකින් පෙළෙමින් සිටිති. මෙය ‘දිගු කාලීන කොවිඩ්’ (Long Covid) ලෙසින් හැඳින්වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ආසාදිතයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට මෙම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇත. හිසරදය, තෙහෙට්ටුව, පපුවේ කැක්කුම සහ විෂාදය දිගු කාලීනව පැවතිය හැකි රෝග ලක්ෂණ අතර වනවා.

වසංගතය ආරම්භ වූ අවදියේ දී මෙම තත්වය වෛද්‍යවරුන්ගේ බරපතල සැලකිල්ලට භාජනය වුණේ නැහැ. ආසාදිතයන් අතුරින් ඇතැමුන්ට පමණක් දීර්ඝ කාලීනව විඳවන්නට සිදුවන්නේ ඇයිදැයි තවමත් විද්‍යාඥයෝ සොයාගෙන නැහැ.

මෑතකදී ප්‍රකාශිත අධ්‍යයන වර්තාවක සඳහන් වන්නේ කොවිඩ් වෛරසයට ගොදුරු වී සුළු රෝග ලක්ෂණ පමණක් මතු වී සුවය ලැබූව ද ආසාදනයෙන් මාස හයක් පමණ ගතවන තුරු බරපතල ලෙස රෝගාතුර වීමේ හෝ මරණයට පත්වීමේ ඉහළ අවදානමක් පවතින බවයි.

“දිගු කාලීන කොවිඩ් නිසා උසුලාගෙන යන්න සිදුවන බර විශාලයි. මේ රෝගයෙන් ඇතිවන කල්පවතින බලපෑම වසර ගණනක්, ඇතැම්විට දශක කීපයක් වුනත් දෝංකාර දේවි,” ශාන්ත ලුවිස් හි වොෂින්ටන් සරසවියේ සහකාර මහාචාර්ය සයිඩ් අල් අලි සඳහන් කරනවා.

වෛරසයේ අලුත් ප්‍රභේද

මේ වන විට කොවිඩ් ව්‍යාප්තියේ විවිධාකාර මාදිලි හෝ ප්‍රභේද දහස් ගණනක් තිබෙනවා.

මෙය බලාපොරොත්තු නොවූ දෙයක් නොවේ. වෛරසයක් තම ව්‍යාප්තිය සඳහා තමන්ගේම පිටපත් ජනනය කරද්දී ඒවා විකෘතිවීමට භාජනය වනවා.. බොහෝ අවස්ථාවලදී මෙම විකෘතිවීම් එතරම් ප්‍රශ්නයක් බවට පත් වන්නේ නැහැ . නමුත් ඇතැම්විට ඒ ක්‍රියාවලිය අතරතුරදී වඩා භයානක සහ බෝවීම අධික විය හැකි වෛරස ප්‍රභේදයක් ජනනය විය හැකියි.

එක්සත් රාජධානියෙන්, දකුණු අප්‍රිකාවෙන්, බ්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන් මතු වූ වෛරස් ප්‍රභේදවල ‘ස්පයික් ප්‍රෝටීනවල’ වෙනස්වීම් සිදුවී ඇති අතර වෛරසය මිනිස් සිරුරේ සෛලවලට බද්ධ වන්නේ මෙම ප්‍රෝටීනය මගිනුයි.

කෙසේ නමුත් මෙම සාධක තවමත් නිල වශයෙන් සනාථ වී නොමැති බවත් බීබීසී වාර්තා වේ සඳහන් වනවා.

ළමුන්ට ඇති අවදානම

ළමුන්ට ද කොවිඩ් 19 බෝ විය හැකි නමුත් ඔවුන්ට බරපතල රෝග ලක්ෂණ මතුවීමට ඇති ඉඩකඩ බොහෝ අඩුයි. දැනට පවතින දත්ත වාර්තා අනුව බලන කල ඔවුන් හරහා රෝගය ව්‍යාප්ත වීම ද වැඩිහිටියන් හා සසඳන විට අඩු මට්ටමක පවතිනවා.

අලුතින් මතුවෙමින් පවතින ප්‍රභේද ව්‍යාප්ත වීමේදී බාල පරම්පරාව ආසාදිතයන් බවට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇත්දැයි විද්‍යාඥයෝ මේ වනවිට සොයා බලමින් සිටිනවා.

2020 පෙබරවාරියේ පටන් 2021 මාර්තු 15 වැනිදා දක්වා වූ කාලය ඇතුළත කොවිඩ් වැළඳුණු බ්‍රසීලයේ ළමුන් අවම වශයෙන් 852ක් මරණයට පත් වූ බව පසුගිය මාසයේ නිකුත් වූ වර්තාවක සඳහන් වනවා.

ලොව වැඩිම ආසාදිතයන් වාර්තා වූ රටවල් සහිත ලැයිස්තුවේ දෙවැනි තැන සිටියේ බ්‍රසීලයයි. එරට ළදරුවන් සහ ළමුන්ට කොවිඩ් 19යෙන් ඇතිවූ බලපෑම ඉහළ ගොස් ඇති බවක් පෙනෙන්නට ඇතැයි විශේෂඥයෝ පවසනවා.

මීට හේතු විය හැකි තවත් කාරනා ද බ්‍රසීලයේ තිබෙනවා.. වෛද්‍ය පරීක්ෂණ හිඟ වීම, පාචනය සහ උදරයේ වේදනා වැනි වෙනත් රෝග ලක්ෂණ ද සහිතව ළමුන් ප්‍රතිකාර සඳහා ඉදිරිපත් කිරීම මෙන්ම එරට ජනතාවට වෛද්‍ය සේවා සඳහා වියදම් දැරීමට නොහැකි වීම එම කාරනා අතර වනවා.

 

කොවිඩ් අප අතර රැඳෙන තත්වයක්

කොවිඩ් 19 පිළිබඳව පර්යේෂණ සිදු කරමින් සිටින ප්‍රතිශක්තිය පිළිබඳ විශේෂඥයින්, බෝවන රෝග පිළිබඳ විශේෂඥයින් සහ වෛරස පිළිබද විශේෂඥයින් 100 දෙනෙකුගෙන් ‘Nature’ සඟරාව එකම පැනයක් විමසා තිබුණා.

කොවිඩ් 19 මේ ලෝකයෙන් තුරන් කළ හැකිවේද? යන්න එම පැනය යි. මෙම විශේෂඥයන් අතුරින් 90%කට ආසන්න පිරිසක් කියා සිටියේ මෙම වෛරසය මිනිසා අතර දිගටම රැඳී සිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

(BBC)

Share This