දරා ගත නොහැකි මට්ටමට ආවොත් තෙල් මිලෙහි වෙනසක්

දරා ගත නොහැකි මට්ටමට ආවොත් තෙල් මිලෙහි වෙනසක්

2019 සැප්තැම්බර් 11 දින අවසාන මිල සංශෝධනය කිරීමෙන් අනතුරුව මේ දක්වා ඛනිජතෙල් මිලෙහි කිසිදු වෙනස්වීමක් සිදු නොවූ බවත් දැවැන්ත මිල ඉහළ යාමක් සිදු වී දරා ගත නොහැකි මට්ටමට ආවොත් පමණක් රජය එම පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා

ඉදිරියේදී තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ යාමක් සිදුකරන්නේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා

වසර එක හමාරකට ආසන්න කාලයක් ඉන්ධන මිල ස්ථායී ලෙස පවත්වාගැනීමට රජයට හැකියාව ලැබුණු බවත්, ඉදිරියේදීත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වුවද ස්ථාවර ඉන්ධන මිලක් පවත්වාගෙන යාමට රජය හැකි පමණ උත්සාහ දරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද(23) පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියා

ඉන්ධන මිල ස්ථාවරව තබාගැනීමේ ප්‍රතිපත්තියක සිටිමින් රජය සෑම විටම කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුවට හැකි පමණ කාලයක් ඛනිජ තෙල් මිල ස්ථාවරව පවත්වා ගෙන යන බවයි.

එමෙන්ම තෙල් සංස්ථාව පාඩු ලැබුවද එම බර ජනතාව මත පැටවීමට සූදානම් නොමැති බව අමාත්‍යවරයා පවසනවා .

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ ඉන්දියාවත් සමග සාකච්ඡා කර ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකිවල බහුතර කොටස් අයිතිය අපට හිමිවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

Share This