හෙට විවෘත කරන ‘අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ’ කල්‍යාණී රන් පිවිසුමයි මේ (PHOTOS )

හෙට විවෘත කරන ‘අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ’ කල්‍යාණී රන් පිවිසුමයි මේ (PHOTOS )

‘කල්‍යාණී රන් පිවිසුම’ (Golden Gate Kalyani) ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ සිදු වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඒ සඳහා සහභාගී වීමට නියමිතයි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පවත්වන බවයි.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත වීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන නගරය හා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ එකිනෙකට සම්බන්ධ වීමෙන් කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවී ඇති අතර එවැනි අධික වාහන සංඛ්‍යාවක් සඳහා වත්මන් කැලණි පාලමේ ධාරිතාවය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව කැළණි පාලම ඉදිකිරිම සදහා ගිවිසුම් අත්සන් කරනු ලැබුවා.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් .

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය වනවා.

කැළණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380කි.

පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කරනු ලබන අතර පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය කර තිබෙනවා. දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇති අතර .ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ ( JICA ) මූල්‍යදායකත්වය මත මෙම පාලම ඉදිකර තිබෙනවා.

ජනාකීර්ණ පරිසරය හරහා ඉදිවන නව කැළණි පාලම් ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවරේ සිට ඔරුගොඩවත්ත මංසදිය දක්වා මාර්ගය දෙපසත් අලංකාර කිරිම සදහා ජාතික උද්භිත උද්‍යාන නිලධාරීන් විසින් නිර්දේශ කරන ලද කොබෝ නීල, ඇහැල, මැයි මාර, රොබරෝසියා, කහ මාර, රත්මල්, මී, කුඹුක්, නා, අරලිය, මගුල් කරද, නුග සහ මුරුත යනාදී ශාක ප්‍රභේද පමණක් රෝපණය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

මෙසේ රෝපණය කරන ශාක වෙත නොකඩවා ජලය සැපයීම සදහා භුගත ස්වයංක්‍රීය ජල නල පද්ධතියක් ද ඉදි කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

Share This