මෙවර බඩඉරිඟු වගාවටත් සේනා දළඹුවාගෙන් හානි – වගා හානිය වළක්වා ගැනීමට ගොවි ජනතාවට උපදෙස්

මෙවර බඩඉරිඟු වගාවටත් සේනා දළඹුවාගෙන් හානි – වගා හානිය වළක්වා ගැනීමට ගොවි ජනතාවට උපදෙස්

මෙවර මහ කන්නයේදීත් බඩඉරිඟු වගාවට සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව වහාම සේනා දළඹු හානිය පාලනය සඳහා ගත යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු නිලධාරින්ට උපදෙස් දී ඇති බවයි සඳහන් වන්නේ.

මෙවර මහ කන්නයේදී දිස්ත්‍රික්ක ගණනාවක බඩඉරිඟු වගාව පුළුල් මට්ටමින් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව ව්‍යාපෘතිය යටතේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මොණරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අක්කර 40,000ක බඩඉරිඟු වගාව ක්‍රියාත්මක කර තිබෙනවා.

වගාවේ මුල් අවදියේ මෙම හානියට පාත්‍රවන වගා විනාශ වී යා හැකි බැවින් බීජ සිට වූ දින සිට වගා සුපරීක්ෂාව ඉතා වැදගත් වනවා.

වගාවට දින 2-7 වනවිට පත්‍ර මත සුදු පැහැති විනිවිද පෙනෙන පටලයක් වැනි ලප ලෙස බිත්තර කැදලි දැකිය හැකි අතර මෙම අවස්ථාවේ ඒවා අතින් ඉවත් කිරීම මගින් වගාවට සිදුවන හානිය වළක්වා ගත හැකි බවයි සඳහන් වන්නේ.

බිත්තරවලින් පිටවන දළඹුවන් ගොබය තුළට ඇතුළු වී පත්‍ර ගොබයට සහ පත්‍රවලට හානි සිදු කරනු ලබනවා.

මෙහිදී කොහොඹ බීජ නිස්සාරකය ගොබය තුළට ඉසීම මගින් හානිය පාලනය කළ හැකියි.

වගාව පරීක්ෂා කිරීමේ දී පඳුරු 100කට 13-20 පමණ හානි වී තිබේනම් මර්දන ක්‍රම භාවිතය කළ යුතුයි.

මීට අමතරව වගාවේ මුල් අවස්ථාවේ පෙරමෝන උගුල් භාවිතය, බිත්තර පරපෝෂිතයින් යෙදීම, වෛරස් යෙදීම වැනි ජෛව පාලන ක්‍රම භාවිතා කිරීම පරිසර හිතකාමී බවත් සඳහන්.

මේ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දුරකථන අංක 081- 2388011 අමතා තොරතුරු ලබා ගැනීමේ හැකියාව ඇති අතර මෙම පලිබෝධ හානි පාලනය කිරීම සදහා ළඟම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් කෘෂිකර්ම උපදේශක වෙතින් උපදෙස් ලබා ගන්නා ලෙසයි කෘෂිකර්ම අංශ ගොවිජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This