භූ විද්‍යා පතල් කැණීම් නිලධාරීන් බලපත්‍ර නීති උල්ලංඝනය කළ ගල්වලක් වටලයි

භූ විද්‍යා පතල් කැණීම් නිලධාරීන් බලපත්‍ර නීති උල්ලංඝනය කළ ගල්වලක් වටලයි

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පාරිසරික හානි සිදුවන පරිදි පවත්වාගෙන ගිය ගල් වලක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

එම කාර්යංශයේ කොළඹ මූලස්ථාන වැටලීම් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ මරදන්කඩවල පොලිස් වසමට අයත් ගනේවල්පොල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලික ගල්වලක් මෙලෙස පරීක්ෂාවට ලක් කර ඇති බව සඳහන්.

එහිදී බලපත්‍රයට අනුව තිබිය යුතු ප්‍රමාණය ඉක්මවූ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවේ තිබීම හේතුවෙන් එය භූ විද්‍යා පතල් කැණීම් නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

මේ අතර භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ මැනීම් ඒකකය ද පැමිණ ගල් වල පිහිටා තිබෙන භූමිය තුළ සිදු කළ බව කියන පරිසර හානිය පිළිබඳව සොයා බැලීමට මැනීම් කටයුතු ආරම්භ කර තිබෙනවා.

පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් මරදන්කඩවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Share This