
අස්වැසුම දෙවැනි අදියරේ සංගණනය ලබන 31 වනදායින් අවසන්
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදියරට අදාළ සංගණනය ජූලි 31 වනදා වන විට අවසන් කිරීමට නියමිතව තිබෙනවා
ඒ අනුව මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී අයදුම් කිරීම මඟහැරුණු පවුල් වෙනුවෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යළි අයැදුම්පත් කැඳවීමක් සිදු කළ අතර එහිදී අයදුම්පත් 454,924 ක් පමණ ලැබී තිබෙන බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ
එමෙන්ම එම අයදුම්පත් සම්බන්ධ සංගණන කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවත් ඔහු පැවසුවා
දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ඉදිරිපත්ව තිබෙන බවත්, එම සෑම අයදුම්පතක්ම සංගණනය වෙනුවෙන් තොරතුරු රැස්කිරීම IWMS මෘදුකාංගය හරහා සිදුකරන බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා
සෑම ග්‍රාමසේවා වසමක් සඳහාම සංගණන නිලධාරීන් පත්කර තිබෙන අතර එම නිලධාරීන් අදාළ නිවෙස් වෙත ගොස් පවුලේ සාමාජිකයන්ගේ තොරතුරු නිරීක්ෂණය කොට ජංගම යෙදවුම හරහා සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛනයට ඇතුළත් කෙරෙනවා
එම සංගණන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම සංගණන අධීක්ෂණ නිලධාරියෙකු පත්කර තිබෙන බවද ඔහු පැවසුවා
එසේම ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළ ආකාරයට, සංගණන නිලධාරියා විසින් තොරතුරු පද්ධති ගතකළ පසුව සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ඇති අයදුම්කරුවන්ගේ සම්පූර්ණ තොරතුරු නිරීක්ෂණය කළ හැකියි.
එම සංගණනය අවසානයේ අදාළ පවුල්වල තොරතුරු තේරීම් කමිටු විසින් අධීක්ෂණය කරනු ලබනවා