fbpx
LPL වෙන්දේසියට සුදුසුකම් ලැබූ විදෙස් ක්‍රීඩකයෝ

LPL වෙන්දේසියට සුදුසුකම් ලැබූ විදෙස් ක්‍රීඩකයෝ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් විදෙස් ක්‍රීඩකයින් හාරසිය විසි දෙනෙකු (420) අයැදුම් කර තිබෙන අතර ඉන් 150 දෙනෙකු පමණ ක්‍රීඩක වෙන්දේසිය සඳහා සුදුසුකම් ලබා සිටිනවා.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියේදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනෙනු ඇති.

විස්සයි-20 තරග පිටියේ කැපී පෙනෙන ක්‍රීඩකයින් රැසක් මෙම තරගාවලියට සහභාගිවීමේ උනන්දුවෙන් පසුවන අතර ක්‍රිස් ගේල්, ඩැරන් සමී, ඩැරන් බ්‍රාවෝ, ශහිඩ් අෆ්රිඩි, ශකීබ් අල් හසන්, රවී බොපාරා, ජොනී බෙයාර්ස්ටෝ, කොලින් මුන්රෝ, ලුක් රයිට් සහ වර්නන් පිලෙන්ඩර් ඒ අතරින් කැපී පෙනෙනවා.

අසල්වැසි ඉන්දියාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු අයැදුම් කර සිටින අතර, මුනාෆ් පටෙල්, ප්‍රවීන් කුමාර්, මන්ප්‍රීට් ඝෝනි සහ ෂදාබ් ජකාති එම ක්‍රීඩකයෝ වනවා.

දේශීය තරග පිටියේ නියැළෙන ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රිකට් ලෝලීන්ටත් නැවුම් අත්දැකීමක් ලබා දෙමින් පැවැත්වෙන මෙම විස්සයි-20 තරගාවලිය ලබන නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත.

තරගාවලිය නිල වශයෙන් ආරම්භ කිරීම හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් යොදා තිබෙනවා.

Share This