IPL වරම් හිමි වූ මතීෂ චෙන්නායි සුපර් කිංග්ස් සමඟ එක්වෙයි

IPL වරම් හිමි වූ මතීෂ චෙන්නායි සුපර් කිංග්ස් සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.

ඔහු මේ වනවිට දින තුනක නිරෝධායන කාලසීමාව පසු කරන බවයි වාර්තා වන්නේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කිසියම් ක්‍රීඩකයෙක් කණ්ඩායමක් සමඟ එක්වීමේ දී දින තුනක් නිරෝධායනය වීම අනිවාර්ය වනවා.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී චෙන්නායි කණ්ඩායම නියෝජනය කළ නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ඇඩම් මිල්න් ආබාධයකට ගොදුරු වීමත් සමඟ ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

ඇඩම් මිල්න් වෙනුවට මතීෂ පතිරණ සිය කණ්ඩායමට එක්කර ගැනීමටයි චෙන්නායි සුපර් කිංග්ස් හිමිකරුවන් ඒ අනුව කටයුතු කළේ.

ඉන්දීය රුපියල් ලක්ෂ 20ක මුදලකට මතීෂ පතිරණ සමඟ චෙන්නායි කණ්ඩායම ගිවිසුම් ගතව ඇති බවයි වාර්තා වන්නේ.

ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් වේගපන්දු යවන මතීෂ පතිරණ නිමා වූ 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ දී කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට පත් වුණා.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියේ දී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සිය කණ්ඩායමට එක්කර ගැනීමට චෙන්නායි කළමණාකාරීත්වය කටයුතු කළ අතර, ඔහු මේ වනවිට චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටිනවා.

 

 

 

Share This