IPL පිටියේ දී ප්‍රකෝප වූ දිල්ලි නායකයා ඇතුළු තිදෙනෙකුට දඬුවම්

IPL පිටියේ දී ප්‍රකෝප වූ දිල්ලි නායකයා ඇතුළු තිදෙනෙකුට දඬුවම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේ ඊයේ (22) පැවැති තරගයේ දී විනය කඩ කිරීමක් සම්බන්ධයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට සහ පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට දඬුවම් පැනවීමට කටයුතුකර තිබෙනවා.

ඒ අනුව දිල්ලි කැපිටල්ස් පිලේ නායක රිෂාබ් පාන්ට්ට සම්පූර්ණ තරග ගාස්තුවම දඩ මුදලක් ලෙස අයකර ගැනීමට කටයුතු කර ඇති අතර වේගපන්දු යවන ක්‍රීඩක ෂර්දුල් තාකූර්ට තරග ගාස්තුවෙන් සියයට පනහක දඩ මුදලක් ද පනවා ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන ප්‍රවීන් අම්රේට ද එක් තරගයක තහනමක් සහ තරග ගාස්තුවෙන් 100%ක දඩයක් පනවා තිබෙනවා.

අයි.පී.එල්. ආචාර ධර්ම පද්ධතියට එරෙහිව මෙම දඩ මුදල් සහ දඬුවම් පැනවීමට කටයුතු කළ බවයි තරග සංවිධායකයින් සඳහන් කළේ.

දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයස් අතර ඊයේ පැවති තරගයේ දී මොවුන් මෙලෙස විනය කඩකර ඇති අතර මෙම තරගය ලකුණු 15කින් ජය ගන්නට රාජස්ථාන් කණ්ඩායමට හැකියාව ලැබුණා.

තරගයේ දිල්ලි පිළිතුරු ඉනිමේ අවසන් පන්දුවාරයේ දී යැවූ පන්දුවක් සම්බන්ධයෙන් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් ක්‍රීඩා පිටියේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙනුයි අදාල ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුට මෙලෙස දඬුවම් පනවා ඇත්තේ.

අදාල සිදුවීම මෙතැනින් නරඹන්න..

 

Share This