IMF ණය ලැබෙන්නේ කවදා ද ?

IMF ණය ලැබෙන්නේ කවදා ද ?

IMF ණය පහසුකමේ පළමු වාරිකය මේ මාසය තුළ දී ලැබෙනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නිහාල් හෙන්නායක මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සහ IMF කොන්දේසි නිසි ආකාරයෙන් සපුරාලීමට සමත් වීම නිසා ණය පහසුකම හිමිවනු ඇති බවයි.

ණය පහසුකමක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා ආරම්භ කරන ලද්දේ 2022 අප්‍රේල් මාසයේදීයි. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේදී IMF කාර්යමණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ, ඩොලර් බිලියන 2.9ක ණය සහනයක් ලබාගැනීමට එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

ඒ අනුව, එම සාකච්ඡා සඳහා, ආරම්භයේ සිට මේ දක්වා මාස 09කට වැඩි කාලයක් ගතව ඇති අතර සාකච්ඡා ආරම්භයේදීම IMF විසින් පෙන්වාදුන්නේ, ශ්‍රී ලංකාවට ණයක් අනුමත කරදීමට නම් ඒවායේ හිමිකරුවන් විසින් ප්‍රතිව්‍යුහගතකරණය කරදීමට කැමැත්ත පළකළයුතු බවයි.

ඒ වනවිට කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණ කරගතයුතුව ඇති ණය ප්‍රමාණය සඳහන් වූයේ එක්සත් ජනපද ඩොලර් බිලියන 14ක් වශයෙනුයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ IMF වැඩසටහෙන්දී චීනය වඩාත්ම වැදගත් පාර්ශ්වය බවට පත්වූ අතර ඒ වන විටත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වික ණයහිමියා වන්නේ ‘ජපානය’ බවයි මෙරට බොහෝ දෙනෙකු සිතා සිටියේ.

පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම සහ IMF වැඩසටහන සක්‍රිය කිරීම වෙනුවෙන්, මෙරට ද්විපාර්ශ්වික ණයහිමියන් අතුරින් ඉන්දියාව සිය මූල්‍ය සහතිකය නිල වශයෙන් ලබාදීමට එකඟතාව පළ කළා.

ඉන්දීය විදේශ ඇමති එස්.ජයිශංකර් ශ්‍රී ලංකාවටම පැමිණ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ එම සහතිකය ලබාදීමත් සමග ජපානය සහ පැරිස් සමාජය ඇතුළුව, මෙරට අනෙක් සියලු ද්විපාර්ශ්වික ණයහිමියෝ, උපරිම සහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට කැමැත්ත දක්වනු ලැබුවා.

ඒ අනුව, ඉන්දියාවේ නිවේදනයට දින 03කට පසුව චීනය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ, චීන ආනයන අපනයන බැංකුව හෙවත් Exim බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණයවලින් ඩොලර් බිලියන 02ක ප්‍රමාණයක්, වසර දෙකක කාලයකට ආපසු නොගෙවා සිටීමට සහන සැලසීමට කැමැත්ත ප්‍රකාශ කරන බවයි.

අදාළ එකඟතාවන් චීන රජය විසින් ලබාදිය යුතුව ඇත්තේ සෘජුවම IMF වෙත වුව ද ඒ වෙනුවට චීන Exim බැංකුව විසින් අදාළ ලිපිය යොමුකර තිබුනේ ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යංශය වෙතයි.

එමනිසා ඊට වහාම ප්‍රතිචාර දැක්වූයේ IMF ප්‍රධානි ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවායි.

පසුගිය සතියේ චීනය විසින් තවත් ලිපියක් ශ්‍රී ලංකාවට එවනු ලැබූ අතර ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය අමතමින් සකස්කර තිබුණු ලිපිය, මෙවර අන්තර්ජාතික මූල්‍ය අරමුදල අමතමින් සකස්කර තිබුණා.එහි සඳහන්ව ඇති බව පැවසෙන්නේ ‘විකල්ප අවස්ථා පිළිබඳව සලකා බැලීමට’ කැමැත්තෙන් පසුවන බවයි.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු 07 වැනිදා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කරන ලද්දේ, දැන් ශ්‍රී ලංකාව විසින් IMF විසින් නිර්දේශ කරන ලද සියලුම කොන්දේසි සපුරාලීමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව දැන් ‘හැන්ද ඇත්තේ මූල්‍ය අරමුදලේ අතේ’ බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නා.

ණය අනුමත කිරීමේ හැකියාව IMF සතුව පවති අතර ගැටලුව මතුවන්නේ ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පොදු සැලැස්ම නිර්මාණය කිරීමේදී බවයි ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ.

IMF විසින් ණය අනුමත කිරීම යනු, ණය නිකුත් කිරීම නොවන බවට ජාත්‍යන්තයේ නිදසුන් තිබෙනවා.

නිදසුනක් ලෙස අප්‍රිකානු රාජ්‍යයක් වන සැම්බියාව වෙනුවෙන්ද IMF ණය මුදලක් අනුමත වී ඇතත් එහිදී චීනය විසින් ණය වෙනුවෙන් ලබාදී ඇති සහනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් IMF විසින් ණය මුදල නිකුත් කර නැහැ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් පොදු ක්‍රමවේදයක් සකස් කිරීම ලබන මාසයේ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

Share This