Crypto’ හි ආයෝජනය කළහැකි App එකක් නිසා දහස් ගණනකගේ මුදල් වතුරේ

Crypto’ හි ආයෝජනය කළහැකි App එකක් නිසා දහස් ගණනකගේ මුදල් වතුරේ

iEarn Bot වෙළඳ යෙදවුම හරහා Crypto Currency’ හි ආයෝජනය කිරීමෙන් පසු දහස් ගණනකගේ මුදල් අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ දක්වා Crypto වෙළඳ ආයෝජනය කිරීම් අතර සිදුවී ඇති විශාලතම ජාවාරම මෙය බවයි එම සමාගමේ අක්‍රමිකතා විමර්ශනය කළ විශේෂඥයින් පවසන්නේ.

කෙටි කාලයක් තුළ විශාල මුදලක් ලබා ගැනීමට හැකියාව ඇති නිසා Crypto Currency හරහා මුදල් ආයෝජනය කිරීම මිනිසුන් අතර ජනප්‍රිය වී තිබෙනවා.

නමුත් නීති ආයතන මගින් මුදල් ආයෝජනය කිරීම්වලදී වැඩිවන වංචාවන් ගැන අනතුරු අඟවන අතර ආයෝජකයින්ට මුදල් සම්බන්ධයෙන් සිහිකල්පනාවෙන් කටයතු කරන ලෙසයි නිර්දේශ කරන්නේ.

iEarn Bot හි ආයෝජනය කිරීමෙන් යුරෝ සිය ගණනක් අහිමි වූ බව රුමේනියානු කාන්තාවක් මාධ්‍යට පවසා තිබෙනවා.

iEarn Bot මිලදී ගන්නා පාරිභෝගිකයින්ට ඒ සමාගම විසින් ඔවුන්ගේ ආයෝජනය හසුරුවනු ලබන්නේ සමාගමේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන නොහොත් Artficial Intelligence මගින් බවත් ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ සහතික කරන බවත් පෙන්වා දී තිබෙනවා.

Bot යෙදවුම තුළ මාසයක් ආයෝජනය කිරීමේදී අයෝජනවලට ප්‍රතිලාභ ලැබෙන ආකාරය යෙදවුම තුළ දත්ත විශ්ලේෂණය මගින් පෙන්නුම් කරන බව එහි ආයෝජකයින් පවසනවා.

කාලයක් යනතුරු iEarn Bot යෙදවුම වෘත්තිමය පෙනුමක් තිබෙන අතර පසුව මුදල් ආපසු ගැනීම අත්හිටුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුමේනියාවේ ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකු වන ගේබ්‍රියෙල් ගරායිස් විසින් මෙම iEarn Bot යෙදවුමට අනුග්‍රහය දැක්වූ නිසා එරට රාජ්‍ය නිලධාරීන් සහ විද්වතුන් ඇතුළු ඉහළ පෙළේ පුද්ගලයන් විශාල පිරිසක් මෙම යෙදවුම හරහා ආයෝජනය කිරීමට යොමුවී තිබෙනවා.

කෙසේවෙතත් ගරායිස් මහතා පවසන්නේ තමාගේම යෙදවුම තුළ ආයෝජනය කිරීමෙන් ඔහුද රැවටුණු බවත් ඔහුගේ මුදල් ද නැති වූ බවයි.

නීති අධ්‍යාපනය සහ පර්යේෂණ සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයේ රුමේනියානු සංවිධානාත්මක අපරාධ විශේෂඥවරියක් වන Silvia Tabusca iEarn Bot ගැන සොයා බැලීමට පටන් ගත් විට, වෙනත් රටවල බොහෝ දෙනෙකුට මෙම අයෝජන ක්‍රමය තුළ මුදල් අහිමි වී ඇති බව ඇය සොයාගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේ පරිමාණය පිළිබඳව වඩාත් පුදුමයට පත්වූ බව ඇය මාධ්‍යට පෙන්වා දී තිබෙනවා.

යෙදවුමේ ආයෝජකයින් සංඛ්‍යාව තරමක් ඉහළ බව Silvia Tabusca මහත්මිය පවසනවා. උදාහරණයක් ලෙස ඉන්දුනීසියාවේ, iEarn Bot යෙදවුම පරිශීලනය කරන්නන් 800,000 ක් සිටින බවයි ඇය පෙන්වා දෙන්නේ.

මුලදී යෙදවුම ඉතා හොඳින් ක්‍රියාකරන අතර ප්‍රමාණවත් ආයෝජකයින් සහ ප්‍රමාණවත් මුදලක් කිසියම් රටක ආයෝජනය කර ඇති විට, ඔවුන් එම රටට තවදුරටත් මුදල් ඉවත්කර ගැනීම වළක්වනවා. පසුව වෙනත් රටවල් වලින් ආයෝජකයින් සොයාගැනීමට කටයුතු කරන බවයි Silvia Tabusca මහත්මිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

සමාගමේ නිර්මාතෘවරයා ලෙස වෙබ් අඩවිය නම් කරන පුද්ගලයා මාධ්‍ය වෙත පැවසුවේ ඔහු මෙම යෙදවුම ගැන කිසිවක් අසා නැති අතර මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇති බවයි.

Huawei සහ Qualcomm වැනි සමාගම් සමඟ Massachusetts Institute of Technology, iEarn Bot හි “උපායමාර්ගික හවුල්කරුවන්” ලෙස නම් කර ඇති අතර ඔවුන් ද කියා සිටියේ ඔවුන්ට සමාගම පිළිබඳ දැනුමක් නොමැති බවත් ඔවුන් එය සමඟ වැඩ නොකරන බවත්ය.

සිදුවන අක්‍රමිකතා පිළිබඳව අදහස් ලබාගැනීම සඳහා මාධ්‍ය විසින් iEarn Bot සමාගම සම්බන්ධ කරගැනීමට උත්සහ කළ බවත් මේ වනතෙක් එම සමාගම ප්‍රතිචාර නොදැක්වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This