fbpx
මහ බැංකුවෙන් රහසිගතව ගත් තොරතුරු මත,  ට්‍රිලියනයක් කප්පම් ගන්න ගිහින් – 6ක් කොටු වෙයි

මහ බැංකුවෙන් රහසිගතව ගත් තොරතුරු මත, ට්‍රිලියනයක් කප්පම් ගන්න ගිහින් – 6ක් කොටු වෙයි

වවුනියාවේ නෙලුකුලම කූමාංකුලම ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ඔහුගේ ගිණුමේ තිබූ ට්‍රිලියනයක මුදල කප්පම් වශයෙන් ලබා ගැනීම සදහා කොළඹ සිට වවුනියාවට පැමිණි සැකකරුවන් හය දෙනෙකු මේ මස 23 වෙනිදා දක්වා බන්ධනාගාරගත කරණ ලෙස වවුනියාව දිස්ත්‍රික් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

වවුනියාවේ පූවරසන්කුලම පොලීසිය විසින් අදාල සැකකරුවන් හය දෙනා සහ ඔවුන් පැමිණි මෝටර් රථ දෙක සිය භාරයට ගෙන වවුනියාව පොලිසියට බාර දීමෙන් පසුව පොලීසිය අදාල සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.

වවුනියාවේ කූමාංකුලමේ පදිංචිව සිටින කන්දසාමී සුමිත්‍රන් නැමති අයගේ බැංකු ගිණුමට විදේශරටකින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ට්‍රිලියනයක මුදලක් තැන්පත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් නිසි අයිතිවාසිකම් පෙන්වීමට හා මුදල් තැන්පත් කළ පුද්ගලයා ප්‍රකාශ කිරීමට ගිණුමේ අයිතිකරු අපොහොසත්වීම මත මහ බැංකුව එම මුදල ගිණුම් හිමියා වෙත නිකුත් කොට නැහැ.

මේ අතරවාරයේ මහ බැංකුවෙන් මේ තොරතුරු ලබාගත් සංවිධානාත්මක කණ්ඩායමක් කොළඹ සිට වවුනියාවට පැමිණ ගිණුම්කරුගේ නිවසට ගොස් අදාළ මුදල ලබාදීමට කොළඹ යාමට අවශ්‍ය බව පවසා ඔහුව මෝටර් රථයේ නංවාගෙන තිබෙනවා.

සැකකරුවන් හය දෙනා සමග කාන්තාවක් සිට ඇති අතර ඇය මහ බැංකුවේ නිලධාරිනියක් වශයෙන් පෙනී සිට සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෝටර් රථයේ යන අතරවාරයේ සැකකරුට මේ පිළිබදව මතු වූ සැකයක් මත වවුනියාවේ පූවරසන්කුලම පොලිස් ස්ථානය අසලට පැමිණි විට උපක්‍රමශීලීව මෝටර් රථයෙන් බැස පොලීසිය වෙත දිව ගොස් මේ ගැන පොලීසියට දන්වා තිබෙනවා.

ඒ අනුව පූවරසන්කුලම පොලීසියේ නිලධාරීන් අදාල සැකකරුවන් හය දෙනා අත් අඩංගුවට ගෙන වවුනියාව පොලිසියට භාර දී තිබෙනවා.

Share This