විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට නියාමන රාමුවක්

විදේශ මුදල් ණයට ගැනීම සඳහා පහසුකම් සැලසීමට නියාමන රාමුවක්

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් තම ව්‍යාපාර පුළුල් කිරීම සඳහා විදේශීය මූලාශ්‍රයන්ගෙන් ගනු ලබන අඩු පිරිවැයක් සහිත අරමුදල් නම්‍යශීලී කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අප්‍රේල් 09 දින බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත විදේශ මුදල් ණයට ගැනීම් වලට අදාළ ව විධිවිධාන පනවා තිබෙනවා.

මෙම විධිවිධානයන්ගේ පරමාර්ථය වන්නේ බලපත්‍රලාභී මුදල් සමාගම්හි විදේශ අරමුදල් මගින් ඇති කරනු ලැබිය හැකි මූල්‍ය විචලනයන් ස්ථායී කිරීම සහ එවැනි විදේශ මුදල් ණයට ගැනීම් සඳහා අවදානම් කළමනාකරණ රාමුවක් සැපයීම යි.

මෙම විධිවිධානයන් පැනවීමට පෙර ජාතික වැදගත්කමක් සහිත කාර්යයන් සඳහා මෙම අරමුදල් උපයෝගී කර ගැනීම, අවුරුදු 5 ට වැඩි කල්පිරීම්, විචක්ෂණශීලී අවශ්‍යතා සමග අනුකූල වීම් ආදී නිර්ණායක සැපිරූ බලපත්‍රලාභී මුදල් සමාගම් සඳහා අදාළ ඉල්ලීම සලකා බලා මුළු වත්කම්වලින් සියයට 10ක් දක්ව‍ා විදේශ මුදල් ණයට ගැනීම්වලටශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී තිබෙනවා.

බලපත්‍රලාභී මුදල් සමාගම් කිහිපයක් තම ව්‍යාපාර කටයුතු සඳහා සාපේක්ෂ ව අඩු වියදමකින් විදේශ ණය ලබා ගෙන තිබීම, ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ වාර්තා සතුටුදායක වීම සහ වර්තමාන වෙළෙඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගෙන පහත අංගයන්ගෙන් සමන්විත නව විධානයන් හඳුන්වා දී ඇති බවයි මහා බැංකුව සඳහන් කරන්නේ.

ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතා මට්ටම්, උපයෝගී කර ගැනීමේ අරමුණු, සුරැකුමෙහි ස්වභාවය සහ ණය ශ්‍රේණිගත කිරීම ඇතුළු ව එක් එක් සමාගමේ සමස්ත ක්‍රියාකාරිත්වය මත පදනම් ව අදියර තුනක් යටතේ සමාගමේ මුළු වත්කම්වලින් සියයට 20ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට බලපත්‍රලාභී මුදල් සමාගම් වලට අවසර පවතිනවා.

සමාගමක මුළු වත්කම්වලින් සියයට 10ක් දක්වා වන ඕනෑ ම විදේශ මුදල් ණය ගැනීමකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය අවශ්‍ය නො වන අතර පූර්ව දැනුම් දීම ප්‍රමාණවත් වනවා.

සියයට 10 ඉක්මවන ණය ගැනීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතිය අවශ්‍ය වනවා.

විදේශ මුදල් ණයට ගැනීමේ කාලය වසර 2ක් හෝ ඊට වැඩි විය යුතු යි.

ගනු ලබන ණය මුදලින් උත්පාදනය වන විදේශ විනිමය අවදානම ආවරණය කිරීම (Hedging)සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා පහසුකම් සලසා ඇති අතර ණය පොලී ගෙවීම්වලට අදාළ විදේශ විනිමය අවදානම කළමනාකරණය කිරීමට බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් සුදුසු ව්‍යුත්පන්න උපකරණ යොදා ගත යුතු යි.

බලපත්‍රලාභී මුදල් සමාගම් විසින් එවැනි විදේශ මුදල් ණයට ගැනීමේ පිරිවැය ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති සීමාවන් තුළ පවත්වා ගැනීම අවශ්‍ය වනවා .

සමස්තයක් ලෙස ගත් කල, ආර්ථිකයේ සංවර්ධන කටයුතු සඳහා ඉවහල් වන බලපත්‍රලාභී මුදල් සමාගම්වල අනාගත ව්‍යාපාර පුළුල් කිරීම් සඳහා විචක්ෂණශීලී ආකාරයකින් විදේශීය මූලාශ්‍රයන්ගෙන් අරමුදල් ලබා ගැනීමට නව විධානයන් මගින් වැඩි නම්‍යතාවක් ලබා දී තිබෙනවා.

Share This