2022 IPL තරගාවලියේ දී හර්දික් පාන්ඩයාට නව වගකීමක්  (වීඩියෝ)

2022 IPL තරගාවලියේ දී හර්දික් පාන්ඩයාට නව වගකීමක් (වීඩියෝ)

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය ලබන මාසයේ දී පැවැත්වීමට සංවිධායකයින් මේ වනවිටත් සැලසුම් සකස්කර අවසන්.

අලුතින් කණ්ඩායම් දෙකක් මෙවර තරගාවලියට එක්වීමත් සමඟ තරගාවලියේ පවතින තරගකාරීත්වය තව තවත් ඉහළ යනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

අහමදාබාද් සහ ලක්නව් යන කණ්ඩායම් දෙක මෙවර තරගාවලිය වෙනුවෙන් එක්ව ඇති අතර ඒ අනුව මෙවර තරගාවලියට එක්වන සමස්ත කණ්ඩායම් සංඛ්‍යාව 10ක්.

මේ අතර මෙවර තරගාවලියේ දී අහමදාබාද් කණ්ඩායමේ නායකත්වයට මෙතෙක් කලක් ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩයා තෝරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට අමතව පසුගිය තරගාවලි තුළ සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියෝජනය කළ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂිඩ් ඛාන් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් ලෙස කටයුතු කළ ශුබ්මන් ගිල් ද, අහමදාබාද් කණ්ඩායම වෙනුවෙන් වෙන්කර ගැනීමට එහි හිමිකරුවන් කටයුතු කර තිබෙනවා.

හර්දික් සහ රෂීඩ් ඉන්දීය රුපියල් කෝටි 15 බැගින් තෝරාගෙන ඇති අතර ශුබ්මන් රුපියල් කෝටි 08කට අහමදාබාද් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

2015 වසරේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක්ව සිටි හර්දික් පාන්ඩයා නිමා වූ තරගාවලියෙන් පසු ක්‍රීඩක වෙන්දේසියට මුදාහැරීමට එහි හිමිකරුවන් කටයුතු කළා.

තමන්ට ලද මෙම සුවිශේෂී අවස්ථාව සම්බන්ධයෙන් හර්දික් පාන්ඩයා සිය නිල ට්විටර් ගිණුමට විශේෂ වීඩියෝවක් ද එක්කර තිබුණා.

 

 

Share This