1983 දී දෙවන එලිසබෙත් රැජින ඝාතන කුමන්ත්‍රණය හෙළිවේ

1983 දී දෙවන එලිසබෙත් රැජින ඝාතන කුමන්ත්‍රණය හෙළිවේ

1983 එක්සත් ජනපදයේ සංචාරයකදී දෙවන එලිසබෙත් රැජින ඝාතන තර්ජනයකට මුහුණ දුන් බව ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) පවසනවා.

රැජින එක්සත් ජනපදයට ගිය ගමනට අදාළ ලිපිගොනු පරීක්ෂාවෙන් පසු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය මේ පිළිබඳව හෙළි කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රැජිනගේ චාරිකාවලදී IRA (Ireland Republican Army) තර්ජන හමුවේ ආරක්ෂාව තහවුරු කිරීමට FBI විසින් රැජිනට සහය ලබාදී තිබෙනවා.

මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දැනගෙන ඇත්තේ සැන් ෆ්රැන්සිස්කෝ හි පොලිස් නිලධාරියෙකුයි.

ලිපිගොනුවට අනුව, සැන් ෆ්රැන්සිස්කෝ හි අයර්ලන්ත පබ් එකකට නිතර ගිය නිලධාරියෙකු එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ ඇමතුමක් ගැන ෆෙඩරල් නියෝජිතයින්ට අනතුරු අඟවා තිබෙනවා.

තම දියණිය උතුරු අයර්ලන්තයේදී මරා දැමූ නිසා පළිගන්නා බව එම පුද්ගලයා කතා කරමින් සිටි බවයි නිලධාරියා FBI නියෝජිතයන්ට දැනුම් දී ඇත්තේ.

දෙවන එලිසබෙත් රැජින සහ ඇගේ සැමියා වන පිලිප් කුමරුගේ කැලිෆෝනියා සංචාරයට මාසයකට පමණ පෙර 1983 පෙබරවාරි 4 වැනි දින එම කුමන්ත්‍රණය හෙළි වී තිබෙනවා.

ගෝල්ඩන් ගේට් පාලම යටින් යම් වස්තුවක් බ්‍රිටැනියා රාජකීය යාත්‍රාවට අතහැර දැමීමෙන් හෝ එලිසබෙත් රැජින යොසෙමයිට් ජාතික වනෝද්‍යානයට ගිය විට ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි FBI ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් වන්නේ.

ඝාතන කුමන්ත්‍රණයට ප්‍රතිචාර වශයෙන්, “යාත්‍රාව ළං වන විට ගෝල්ඩන් ගේට් පාලමේ ඇවිදීමේ මාර්ග වසා දැමීමට” රහස් ඔත්තු සේවය සැලසුම් කර තිබුණා.

යොසෙමයිට් ජාතික වනෝද්‍යානය තුළ රැජිනව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට ගනු ලැබූ පියවර මොනවාද යන්න FBI ලේඛනයේ ඉදිරිපත් කර නොමැති අතර රැජින එම සංචාරය සාර්ථකව නිම කර තිබෙනවා.

මරණ තර්ජන කළ පුද්ගලයාව සොයාගැනීමක් හෝ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ කිසිදු තොරතුරක් FBI විසින් ලේඛනගත කර නොමැති බවයි විදේ මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජනපද මාධ්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ පනතේ ඉල්ලීමකට අනුව මෙම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් FBI හි තොරතුරු වෙබ් අඩවිය වන Vault වෙත පිටු 102ක ලේඛනයක් upload කර තිබෙනවා.

1983 බටහිර වෙරළේ සංචාරය ඇතුළුව රැජිනගේ එක්සත් ජනපදයේ බොහෝ රාජ්‍ය සංචාර සිදුවූයේ උතුරු අයර්ලන්තයේ කරදර මධ්‍යයේ බව එම ලේඛනයේ සඳහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This