හෙටින් පසු ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ

හෙටින් පසු ක්‍රියාත්මක වන සෞඛ්‍ය මාර්ගෝපදේශ

 

නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පවත්වාගෙන යා යුතු මාර්ගෝපදේශ කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අනුව යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට හෙටින් (15) පසු අවසර හිමි වනු ඇති.

ඒ අනුව ලබන 16 වැනිදා සිට ශාලාවේ ඇතුළු කරගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 25ක් පිරෙන ආකාරයට, උපරිම පුද්ගලයින් 50කට පමණක් සීමා කරමින් විවාහ මංගල උත්සව පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ දක්වා විවාහ, ලියාපදිංචි කිරීම්වලට පමණක් සීමා කර තිබුණා.

මංගල උත්සව මත්පැන් භාවිතයෙන් තොර විය යුතු අතර ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විශේෂ අවධානය කරනවා.

මේ අතර අවමංගල්‍ය අවස්ථාවක දී ද එක් වරක දී සහභාගී විය හැකි පුද්ගලයින් සංඛ්‍යාව හෙටින් පසු 15 දෙනෙකු දක්වා ඉහළ නැංවෙනු ඇති.

16 වනදා සිට අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කරගැනීමේ හැකියාව පවතින අතර මත්පැන් භාවිතය තහනම් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වාදෙයි.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුව හෙටින් පසු ක්‍රීඩා ඉසව් කිහිපයක් සඳහා ද අවසර හිමිව තිබෙනවා.

හෙටින් පසු රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ ආදිය ද පැවැත්වෙන ස්ථානයේ ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක් පිරෙන සේ, උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ හැකියි.

Share This