සෞඛ්‍ය ඇමති යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින්ට  කියූ කතාව

සෞඛ්‍ය ඇමති යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතයින්ට කියූ කතාව

ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ ලොව ඇතැම් දියුූණු රටවල වයස්ගත පුරවැසියන් සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන විට මෙරට එවැනි වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවධානයක් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

ඇතැම් රටවල් ක්‍රියාත්මක කළ එවැනි වැඩපිළිවෙලවල් හේතුවෙන් එම රටවල අවුරුදු 60 ඉක්ම වූ පිරිස්වල මරණ සංඛ්‍යාව ඉහළ ගිය බවත්, අප රට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල හේතුවෙන් මෙරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගත හැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළ බවයි සෞඛ්‍ය අමාත්යංශය නිවේදනය කළේ

යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා අද (14) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක කළ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල රටෙහි කොවිඩ් පාලනයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාදුන් බවද එමගින් රෝහල්හි අනවශ්‍ය තදබදය වැළකී රෝගීන් අපහසුතාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ගෘහස්ථ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 1.4% පමණ අවම පිරිසක් පමණක් රෝහල් කරා යොමු කළ බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

මේ වන විට කොවිඩ් පාලනයේ සාර්ථක අදියරකට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයිද ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තරික වශයෙන් බොහෝ සහයෝගයක් ලැබුණු බවද ඒ මහතා අවධාරණය කර තිබෙනවා.

කොවිඩ් පාලනය කෙරෙන අතරතුර රෝගීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යද වඩාත් ඉහළ නැංවීමට හැකිවූ බවත් ඒ් සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සැමගේ කැප කිරීම අගය කරන බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ කොවිඩ් වසංගතය තුළ කුඩා ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවට එල්ල වූ බලපෑම ප්‍රබල යැයිද ඒ හැර අනෙකුත් බලපෑම් වලට සාර්ථකව මුහුණ දීමට රටට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා කියා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ඉතා ඉහළ සංවිධානයකින් මෙන්ම කළමණාකරණයකින් යුතුව ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මේ වන විට සිදු කර ඇති බැවින් එම සාර්ථකත්වයට ප්‍රසාදය පල කරන බවයි.

එමෙන්ම එන්නත්කරණයේ සාර්ථකත්වය මේ වන විට ශ්‍රී ලංකාව ඔප්පු කර ඇති බවද , ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර ඇතැයිද ස්කූග් මහතා ප්‍රකාශ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා.

සාර්ථක කොවිඩ් පාලනය සේම ඉදිරියේදී මෙරට දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් පිළබඳව තවදුරටත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇති බවද යුනිසෙෆ් නියෝජිතවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව සඳහන්.

Share This