සුන්බුන් අතරින් තම පෙම්වතිය සොයාගත් සිරියානු ජාතිකයා

සුන්බුන් අතරින් තම පෙම්වතිය සොයාගත් සිරියානු ජාතිකයා

“අලි” නමැති සිරියානු තරුණයා තම පෙම්වතිය වන “වියම්” සොයාගන්නට ඇන්ටාක්‍යා හි කඩා වැටුණු ඇගේ මහල් නිවාසයේ සුන්බුන් හාරමින් සිට තිබෙනවා. ඒ අතරතුර ඔහුට මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම පිළිබඳව ඔහු විදෙස් මාධ්‍ය සමග අදහස් හුවමාරු කරගෙන තිබුණා.

“එදා රෑ අපි පරක්කු වෙනකම් WhatsApp හරහා එකිනෙකාට කෙටි පණිවිඩ යවමින් හිටියා. අපි නිදාගන්න යනකොට ගොඩක් වෙලා ගිහින් තිබුණා”

අළුයම 04:00 ට පමණ “අලි” ට “වියම්ගෙන්” කෙටි පණිවිඩයක් ලැබී තිබුණා. “ඔයා අවදියෙන්ද? මට අමුතු බියකරු සිහිනයක් පෙනුණා” ඇය “අලි” සමග අවසන් වරට මෙලෙස අදහස් හුවමාරු කරගෙන තිබුණා. නමුත් ඒ වියම්ගෙන් “අලි” ට ලැබෙන අවසන් වචන කිහිපය කියලා ඔහු කවමදාකවත් නොහිතන්නට ඇති.

“ඒ නරක හීනය ගැන හිතන්න එපා කියලයි මම එයාට අවසානෙදි කිව්වේ.” ඇය ඇඳේ ඉඳගෙන නිහඬව හිනා වුණා,” “අලි” මේ මතකය විදෙස් මාධ්‍යට හාරා අවුස්සා තිබුණේ දැඩි හිතකින් කඳුළු සඟවා ගනිමින්.

භූ කම්පනය ආරම්භ වන විට ඔවුන් සිට ඇත්තේ වීඩියෝ ඇමතුමක් අතරතුරයි.

“මුළු ප්‍රදේශයම එකවර සෙලවෙන්නට පටන්ගන්නවාත් සමග ඇය දුවන්නට උත්සාහ කරන බව මම දැක්කා. නමුත් ඇගේ දුරකථනය බිත්තියට සවි කර තිබූ නිසා එය ඇගේ වේගය අඩු කරන්නට හේතු වුණා. එත් සමගම දුරකතනයේ තිරය කළු වී ගියා. ”

සිරියාවේ සටන් පුහුණු අත්දැකීම් ඇති ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙකු වන “අලි” තම කාමරයේ මේසය යටට රිංගා ගැනීමෙන් දිවි ආරක්ෂා කරගැනීමට සමත් වී තිබෙනවා.

භූමිකම්පාව අවසන් වූ විට, පිටතට දිව ගිය “අලී” ට දැකගන්නට ලැබෙන්නේ ජිවිතේ කවමදාකවත් නොදුටු දසුනක්. “අපේ මුළු ප්‍රදේශයම විනාශ වී තිබුණා.” මගේ එමක බලාපොරොත්තුව වුණේ මගේ “වියම්” සොයාගන්න එක.” “අලි” හැකි ඉක්මනින් “වියම්” සිටි ප්‍රදේශයට පිටත්ව ගිය බවයි ඔහු සඳහන් කරන්නේ.

මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන විට, අසල්වැසියන් විසින් තාවකාලික ගලවා ගැනීම් ඒ වන විටත් සිදු කරමින් සිට තිබෙනවා. ඔහු මිතුරන් කැඳවා ඔවුන් සමඟ එකතු වී “වියම්” සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා. “පැය ගාණක් ගෙවිලා ගියත් කිසිම නිල ආධාරයක් බොහෝ වෙලාවක් යන තුරුත් ලැබුනේ නෑ” “අලි” වැඩි දුරටත් සඳහන් කර තිබුණා.

දින අටක සෝදිසියෙන් පසු “අලි” තම ආදරණීය “වියම්” සොයා ගත්තා. නමුත් ඒ ඇයගේ නිසල දේහයයි. මිය යන විට “වියම්” ඇගේ සොහොයුරා වන මොහොමඩ්ව වැළඳගෙන සිට තිබෙනවා. බොහෝ විදෙස් මාධ්‍ය මේ පුවත වාර්තා කරන්නේ “ආදරයට හරස් වූ සොබාදහම” ලෙසයි.

Share This