සංචාරක වීසාවලින් පුද්ගලයන් රට යැවූ පිරිස් සොයා විශේෂ මෙහෙයුමක්

සංචාරක වීසාවලින් පුද්ගලයන් රට යැවූ පිරිස් සොයා විශේෂ මෙහෙයුමක්

සංචාරක වීසා මාර්ගයෙන් ඩුබායි රාජ්‍යයේ රැකියා සඳහා කාන්තාවන් පිටත් කළ වංචාකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

සංචාරක වීසා මගින් ශ්‍රි ලාංකික කාන්තාවන් විදේශ රැකියා සඳහා පිටත් කර රැකියා ලබා නොදී එරට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින බවට වන පුවත් පිළිබඳව අවධානය යොමු කරමිනුයි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත්තේ.

ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා එම ප්‍රදේශවලට පිටත්ව ගොස් තිබෙනවා.

එසේම සංචාරක වීසා මගින් ඩුබායි රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි රැකියාව නොලැබීම හේතුවෙන් යළි දිවයින පැමිණි කාන්තාවගේ නිවසට ද කාර්යාංශයේ දඹුල්ල පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීන් කරුණු සොයා බැලීම සඳහා ගොස් තිබූ බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

මීට අමතරව ඩුබායි රාජ්‍යයේ රැදී සිටින කාන්තාවන් 85 දෙනා පිළිබඳව ඩුබායි කොන්සල් කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, එහි නිළධාරීන් එම කාන්තාවන් පිළිබඳව කරුණු සොයාබලමින් සිටින බවද සඳහන්.

එසේම විදේශ රැකියා වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Share This