ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද (30) සමත් වුණා.

ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන 19න් පහළ කණ්ඩායම ලකුණු 22 කින් පරාජය කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 44යි පන්දු 05කදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණයි.

පන්දු 300කදී ලකුණු 148ක පහසු ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන 19න් පහළ ක්‍රීඩකයින්ව පන්දුවාර 49යි පන්දු 03ක් තුළ ලකුණු 125කට සීමා කරන්නට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

පාකිස්ථාන පිළිතුරු ඉනිම සුනු විසුණු කළ ප්‍රවීන් මැතිව් සිය පන්දුවාර 10 තුළ නිලකුණු පන්දුවාර 03ක් ද සහිතව ලකුණු 14කට කඩුලු 04ක් බිඳ දැමුවා.

ඒ අනුව ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලකුණු 22ක ජයක් හිමිකර ගත්තා.

අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් දෙවන අවසන් පූර්ව තරගයේ දී ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරගයෙන් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව මෙවර 19න් පහළ ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සුදුසුකම් බලා සිටිනවා.

Share This