ශ්‍රී ලංකා,  ලැට්වියා ජනරජ,  රාජ්‍ය නායකයින් හමුවෙයි

ශ්‍රී ලංකා, ලැට්වියා ජනරජ, රාජ්‍ය නායකයින් හමුවෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) මැතිතුමා අතර හමුවක් ඊයේ (21) දහවල් සිදුවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අතරතුර මෙම හමුව සිදූ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දෙරට අතර විසිපස් වසරක තානාපති සබඳතා තවදුරටත් ද්වීපාර්ශ්වියව ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත්ව පියවර ගතයුතු බව රාජ්‍ය නායක දෙපළගේම අදහස වී තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට හා සමාජයට එල්ල වී ඇති බලපෑම කෙරෙහි මෙහිදී රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමු වූ අතර වසංගතය පහවයාමත් සමග දෙරටේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත් බවස සඳහන්.

අධ්‍යාපනය, ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම කෙරෙහි ද නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය වෙනස් විය යුතු බව හා ආසියාව, දකුණු අප්‍රිකාව, මැද පෙරදිග සහ දකුණු ඇමරිකානු කලාපවලට වැඩි නියෝජනයක් දීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Share This