ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනයට පියවර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනයට පියවර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ නිර්දේශවලට අනුකූලව ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන බව එහි සභාපති ජස්වර් උමාර් මහතා සඳහන් කරනවා

ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය කිහිපවරක්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසට දැනුම් දී තිබුනත් එසේ සංශෝධනය කර නැති බවයි ඔහු පවසන්නේ

2021 වසරේදී ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මමේලනයේ මීළඟ නිලවරණයට කලින් මෙම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙසට අවධාරණය කර තිබෙනවා

එයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර එහි පිටපත් ක්‍රීඩා අමාත්‍යාංශයට සහ සියළුම පාපන්දු සම්මේලනයේ සාමාජික සාමාජිකාවන්ට 2022 මැයි මාසය වනවිට යවා අවසන් කර තිබෙන බවද සභාපති ජස්වර් උමාර් මහතා පවසනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ මෙම නව ව්‍යවස්ථාව මගින් ස්වාධීන මූල්‍ය පරිපාලනය, ස්වාධීන නිලවරණය ක්‍රමය, ස්වාධීන විනය කමිටු ඇතුළු පැහැදිලි ලෙසම බලය බෙදා හැරීමේ ක්‍රමයක් ඇති කර තිබෙන බවයි

එමෙන්ම මෙම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට අවශ්‍ය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහා සභාවේ තුනෙන් දෙකක බලය දැනටමත් තිබෙන බවද පවසා සිටිනවා

මේවන විටත් ශ්‍රීලංකා පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා අවශ්‍ය උපදේශන හා නිරීක්ෂණ කටයුතු සදහා ජාත්‍යාන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් දෙදෙනෙකු හා ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයකු දිවයිනට පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා

Share This