විදුලි ගාස්තු ගැන ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්

විදුලි ගාස්තු ගැන ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්

ආගමික සිද්ධස්ථානවල විදුලිය අරපිරිමැස්ම වෙනුවෙන් ගෞරවනීය මහා සංඝරත්නය සිදු කරන අනුශාසනාමය දායකත්වය හා එමඟින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව සිය කෘතඥතාව පළ කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් ආගමික ස්ථාන මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳ මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහානායක හිමිවරු වෙත අද (23) විශේෂ ලිපියක් යොමු කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

පසුගිය වසර කිහිපය තුළ රටේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විදුලි අර්බුදය ද පැන නැගී ඇති බවත්, ඒ සියලු තත්ත්වයන් රටේ මහජනතාවගේ සහ සමස්ත ආගමික ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රමිකව විසඳීම තමා ප්‍රමුඛ රජයේ වගකීම ලෙස දකින බවත් ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

2022 වසර වන විට රටේ බෞද්ධ විහාරස්ථාන හා අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 42,950ක් රටේ ප්‍රධාන විදුලි බල ජාලය හා සම්බන්ධ වී ඇති බවත් 2021 වර්ෂයේ දී ඒ වෙනුවෙන් විදුලි ඒකක මිලියන 91ක් (91 Gwh) ලබා දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙනවා.

පැවති විදුලි අය ක්‍රමය යටතේ රුපියල් 7.17ක් සාමාන්‍ය ඒකකයක් සඳහා විදුලි බල මණ්ඩලය අය කරගෙන ඇති අතර, තවත් රුපියල් 11.46ක් බැගින් සෑම ආගමික විදුලි පරිභෝජන ඒකකයක් වෙනුවෙන්ම විදුලි බල මණ්ඩලය විසින් වැය කර තිබූ බවද සඳහන්.

අධි විදුලි පරිභෝජනයක් සහිත වෙහෙර විහාරස්ථාන හා අනෙකුත් ආගමික ස්ථාන හඳුනාගෙන, එම ස්ථාන වෙත විදුලි ඉල්ලුම් කළමනාකරණය සහ විදුලි සංරක්ෂණය සඳහා වන නිසි අධ්‍යයනයක් සහ අඛණ්ඩ සේවාවක් රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත්වීමෙන් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම ආගමික ස්ථාන රැක බලා ගනිමින් ගිහි පිරිස් අතුරින් බලශක්ති කළමනාකරුවන් පත් කොට ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබාදීමටත් එම කාර්යයන් මාසිකව සමීක්ෂණය කිරීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම මත සකස් කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ.

ඉතාමත් අධික මට්ටමේ විදුලි බිලක් ගෙවීමට සිදුවන ආගමික සිද්ධස්ථාන වෙත සූර්ය පැනල යෙදීම අතිශය ප්‍රායෝගික වන අතර, එසේ නොකොට වෙනත් විකල්ප වැඩපිළිවෙළක් මගින් සිදු වන්නේ කෙටිකාලීන පහසුවක් පමණක් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

එසේම සූර්ය පැනල, නිෂ්පාදන මිලට යටත්ව ලබාදීමට හෝ යම් ආගමික සිද්ධස්ථානයක් සූර්ය පැනල ආනයනය කිරීමට කටයුතු කරන්නේ නම් ඒ වෙනුවෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමට හා මහා නායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා පෙරදැරිව ප්‍රමුඛ හා අත්‍යවශ්‍යතා පදනම මත හඳුනාගත් ආගමික ස්ථාන වෙනුවෙන් රාජ්‍ය මැදිහත්වීමෙන් විශේෂ ක්‍රමවේදයක් මගින් සූර්ය පැනල සවි කිරීම සඳහා කටයුතු කිරීමටත් අවධානය යොමුව තිබෙනවා.

ඒ සියලු උත්සාහයන් මගින් කිසිදු ආගමික සංස්ථාවක දෛනික, මාසික හෝ වාර්ෂික ආගමික කාර්යයන් සඳහා බලපෑමක් නොවන අයුරින් ආගමික, සමාජීය මෙහෙවර අඛණ්ඩව සිදු කිරීමටත් අවශ්‍ය පසුබිම සකස් කරන බවයි ජනාධිපතිවරයා මහානායක හිමිවරු වෙත යොමු කළ ලිපියෙන් වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share This