ව්‍යාපාරිකයා කොවිඩ් ආසාදිත බිරිය ‘මරා දැමීමට පෙර’ මල් ශාලාවකට මුදල් ගෙවලා(VIDEO)

ව්‍යාපාරිකයා කොවිඩ් ආසාදිත බිරිය ‘මරා දැමීමට පෙර’ මල් ශාලාවකට මුදල් ගෙවලා(VIDEO)

සිය බිරිය සතු දේපළ අත්පත් කර ගැනීම හා අනියම් ඇසුරක් පැවැත්වූ කාන්තාව විවාහ කර ගැනීමේ අරමුණ ඇතිව කොවිඩ් ආසාදිත සිය බිරියගේ හුස්ම හිරකර ඝාතනය කළ බව කියන බොරලැස්ගමුවේ ව්‍යාපාරිකයා මෙම මස 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කොරෝනා රෝගී තත්ත්වයෙන් පෙළෙමින් නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටි 45 හැවිරිදි දෙදරු මවකි.

ඉහත සඳහන් කාන්තාව කොරෝනා රෝගය වැළඳී සිය නිවෙසේ් ප්‍රතිකාර ලබමින් ඇඳ මත වැතිර සිටින අතරතුර ඉකුත් 15 වැනිදා රාත්‍රි 10ට පමණ සැකකාර ව්‍යාපාරිකයා එහි තිබූ කොට්ටයක් ගෙන ඇගේ මුඛය හා නාසය වැසීමට සලසා හුස්ම හිරකර එසේ ඝාතනය කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සිය සහෝදරියගේ මියයෑම සැක සහිත බවට ඇගේ සහෝදරයකු විසින් බොරලැස්ගමුව පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ඇයව ඝාතනය කර ඇති බව කරුණු අනාවරණය වූ බවද පොලිසිය අධිකරණයට සඳහන් කළා.

සිය බිරිය ඝාතනය කිරීමට පෙර සැකකාර ව්‍යාපාරිකයා ඇගේ අවසන් කටයුතු කිරීම සඳහා එම ප්‍රදේශයේ මල් ශාලාවකට මුදල් පවා ගෙවා ඇති බවට කරුණු අනාවරණය කරගත් බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සැකකාර ව්‍යාපාරිකයා ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

Share This