වතු අධිකාරිවරුන්ට පහර දීලා – වතු අධිකාරිවරුන්ගේ සංගමය සහ වැවිලිකරුවන්ගේ සංගමය පාරට බසී

වතු අධිකාරිවරුන්ට පහර දීලා – වතු අධිකාරිවරුන්ගේ සංගමය සහ වැවිලිකරුවන්ගේ සංගමය පාරට බසී

වතු අධිකාරිවරුන්ට පහර දීම් හෙලා දකිමින්, පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර, වතු අධිකාරිවරුන්ට වතු පාලනය කිරීමට ආරක්ෂාව ලබාදෙන ලෙස රජයට බල කරමින් වතු අධිකාරිවරුන් පිරිසක් කළු කොඩි පැළද සහ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද නිහඩ විරෝධතාවයක නිරත වුණා.

ශ්‍රි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමය සහ වැවිලිකරුවන්ගේ සංගමය විසින් මෙම නිහඬ විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබූණා.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් පසුගිය මාසයේ වතුකරය පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවති බවත්, එහිදී මස්කෙලිය පොලිස් වසමට අයත් ඕල්ටන් වත්තේ වතු අධිකාරි සුභාෂ් නරායන් සහ සහකාර වතු අධිකාරි අනුෂාන් තිරු යන මහතුන්ට වතු බංගලාවට ගොස් අමානුෂික ලෙස පහර දී ගොම වතුරින් නවා තුවාල සිදු කිරීම නිසා එම වතු අධිකාරිවරුන් දෙදෙනා දැනට පෞද්ගලික රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් විරෝධතාවයේ නියැලී සිටි වතු අධිකාරිවරුන් කියා සිටියා.

නුවරඑලිය කදපොල පාක් වත්තේ වතු අධිකාරිවරයාටත්,සහකාර වතු අධිකාරිවරයාටත්, බණ්ඩාරවෙල පුනාගල වතුයායේ වතු අධිකාරිවරයාටත් මෙවැනිම තර්ජනය ඇති වු බවත්, වතු පාලනය කරන වතු අධිකාරිවරුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර වතු කරයේ ප්‍රචණ්ඩත්වයෙන් තොරව වතු පාලනය කරගෙන යාමට වතු වෘත්තිය සමිති සහතිකයක් ලබාදිය යුතු බවයි විරෝධතාවයේ නියැලි සිටි වතු අධිකාරිවරුන් කියා සිටියා.

මස්කෙලිය ඕල්ටන් වත්තේ වතු අධිකාරිවරයාට සහ සහකාර වතු අධිකාරිවරයාට පහර දි තුවාල සිදු කිරිමට සම්බන්ධ වතු කම්කරු කාන්තාවන් 07 සහ වතු කම්කරුවන් 03 මස්කෙලිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

Share This