යළි ඇවිලුණු ගාසා තීරය

යළි ඇවිලුණු ගාසා තීරය

ගාසා තීරය උණුසුම් කරමින් ඊශ්‍රායලත්, පලස්තීනයත් අතර ගැටුම් අදත් දරුණුවෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම ගෙවුණු සතියක කාලය තුළ දෙරට අතර පැවැති ගැටුම්වලින් වැඩි පිරිසකට මරු කැඳවූ දරුණුතම දිනය ඊයේ බවයි පැවැසෙන්නේ.

ගෙවුණු සඳුදා සිට මේ දක්වා ගාසා තීරය වෙත ඊශ්‍රායල ආරක්‍ෂක අංශ මෙන්ම පලස්තීනයේ හමාස් සටන්කාමීන් දියත් කළ රොකට් ප්‍රහාර සහ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව මේ වන විට 200 කට ආසන්න වී ඇති අතර ඔවුන් අතරින් බහුතරය කුඩා දරුවන් සහ කාන්තාවන් වීම වඩාත් කැපී පෙනෙන්නක්.

දෙරට අතර පැවැති යුද ගැටුම්වලින් වඩාත් දරුණු ලෙස ප්‍රහාර දියත් කෙරුණු ඊයේ දිනයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 43 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එහිදී ගාසා තීරයේ පිහිටි හමාස් සංවිධානයේ ප්‍රධානීන්ගේ නිවාස 9ක් ඉලක්ක කර ගනිම්න් ඊශ්‍රායල ආරක්‍ෂක අංශ රොකට් ප්‍රහාර දියත් කර ඇති බව ඊශ්‍රායල බලධාරීන් දැනුම්දී ඇති අතර ඔවුන් පවසන්නේ හමාස් සංවිධානයට සම්බන්ධ නායකයින් සහ ඔවුන්ගේ සියලු දේපොළ ඉලක්ක කරමින් ප්‍රහාර දියත් කිරීම එකම අරමුණ බවයි.

එමෙන්ම හමාස් සටන්කාමීන්ගේ භූගත උමං මාර්ග ඉලක්ක කරමින්ද සාර්ථකව ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල බලධාරීන් දැනුම්දී තිබෙනවා.

ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ හමාස් සංවිධානයද මේ දක්වා ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 3000ක් පමණ ඉල්ල කර ඇති බවයි.

ගාසා තීරයේ දරුණු ගැටුම් සඳහා හමාස් සංවිධානයද මෙලෙස අති නවීන යුද අවි යොදා ගනිමින් ප්‍රහාර දියත් කරද්දී ඊශ්‍රායලය තමන් සතු අති නවීන ගුවන් ආරක්‍ෂණ පද්ධතිය වන අයන් ඩෝම් නම් ප්‍රති මිසයිල වළකන තාක්‍ෂණික ක්‍රමවේදය යොදා ගැනීම වඩාත් කැපී පෙණුනු බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙලෙස ගාසා තීරයේ දරුණු ගැටුම් පවතින මොහොතක ජෙරුසලමට වයඹ දෙසින් පිහිටි ඊශ්‍රායල යුදෙව් දේවස්ථානයක බැතිමතුන් පිරිසක් සමඟ ආසන පෙළක් කඩා වැටී සිදුවූ විශාල අනතුරක් පිළිබඳවත් අද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර පවතින තත්ත්වය හමුවේ උද්ගතව අවධානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් අනුගමනය කළ යුතු ආරක්‍ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය සහ පලස්තීනය අතර උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ දෙපාර්ශ්වයේම ජනතාව අතර සාමය, ආරක්‍ෂාව සහ අනෝන්‍ය පිළිගැනීම සාක්ෂාත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

ඒ සඳහා සංයමයෙන් කටයුතු කර සටන් විරාමයක් සඳහා සාකච්ඡා ආරම්භ කරන ලෙස තමන් දෙපාර්ශ්වයම උනන්දු කරවන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටින්නේ.

Share This