මෙරට ගුවන් තොටුපළ අභ්‍යන්තර සේවා පුළුල් කිරීමට සැලසුම්

මෙරට ගුවන් තොටුපළ අභ්‍යන්තර සේවා පුළුල් කිරීමට සැලසුම්

කටුනායක, මත්තල, රත්මලාන සහ පලාලි යන ගුවන් තොටුපළවල සිට වැඩි වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවා මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.

නැගෙනහිර පළාතේ සංවර්ධනයට සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට මෙන්ම ගුවන් සේවා හා නාවික යාත්‍රා පහසුකම් වැඩි කිරීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවක දී එම තීරණයට එළැඹ ඇති බව සඳහන්.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේ දී සංචාරකයින් සඳහා නැගෙනහිර පළාතට ප්‍රවේශ වීමට දැරිය යුතු අධික ගුවන් ගාස්තු සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.

එමෙන්ම මඩකලපුව ගුවන් තොටුපළ තාක්ෂණික වශයෙන් උසස් මට්ටමින් දියුණු කර මගීන් 75 දෙනෙකු ගෙන යා හැකි ගුවන් යානා සඳහා මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි නමුත් පෞද්ගලික ගුවන් සේවා සමාගම් ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට පියවර ගෙන නොමැති බවටයි අදාළ සාකච්ඡාවේ දී අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි හි සිට පලාලි දක්වා පියාසර කරන ගුවන් සමාගම සමග සාකච්ඡා කර මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව එම සාකච්ඡාවට එක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත යන සංචාරක මගී නෞකා සහ යාත්‍රා ත්‍රිකුණාමලය වරාය දක්වා යාත්‍රා කරවීම පිළිබඳව සංචාරක කර්මාන්තයේ ඒජන්තවරුන් සමග සාකච්ඡා කිරීමට ද එහිදී තීරණය වී ඇති බව සඳහන්.

Share This