මෘදුකාංගයකට බිලියන 10ක් වැය කරලා – එහෙත් නිසි පරිදි වැඩ නැහැ – කෝපා අනාවරණය

මෘදුකාංගයකට බිලියන 10ක් වැය කරලා – එහෙත් නිසි පරිදි වැඩ නැහැ – කෝපා අනාවරණය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අයකරගැනීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන පරිගණක පද්ධතියක් වන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම යෝජනා ඉදිරිපත් වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා 2014 වසරේදී ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නම් මෘදුකාංග පද්ධතිය ආරම්භ කොට ඒ සඳහා රුපියල් බිලියන 10ක පමණ ආයෝජනයක් කර ඇති නමුත් එය මේ වන විට නිසි තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බවට ‍තොරතුරු ලැබී ඇති බවයි මෙහිදී කෝපා කමිටුව පෙන්වා දී ඇත්තේ.

එම පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් තවත් විශාල මුදලක් මේ වන විට වැයකොට ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ සභාපතිවරයා අවධාරණය කළේ තව දුරටත් මේ වෙනුවෙන් මුදල් වියදම් කිරීම ප්‍රතිඵලදායක ද යන්න සොයාබැලීම අත්‍යාවශ්‍ය වන බවයි.

එම පද්ධතිය සම්බන්ධයෙන් වන සේවා ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමාට ලබා නොදෙන බවයි විගණකාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ

විශේෂයෙන්ම ගිවිසුම ප්‍රකාරව තමාට එම තොරතුරු ලබා දීමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටුයුත්තක් බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී දේශීය ආදායම් නිලධාරීන් පෙන්වා දුන්නේ 2014දී ආරම්භ කළ මෙම මෘදුකාංග පද්ධතිය 2017දී ගෙන එන ලද නව දේශීය ආදායම් පනත සමග යාවාත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි.

එම මෘදුකාංග පද්ධතිය නිර්මාණය කරන ලද සිංගප්පූරු සමාගම සමග එළඹ ඇති ගිවිසුමට අනුව ගිවිසුම් තොරතුරු පිටතට ලබා දීමේ ගැටළුවක් ඇති බැවින් මෙම ගිවිසුම රජයන් දෙකක් අතර ඇති කරගත් ගිවිසුමක් නිසා එහි ඉදිරි කටයුතු සඳහා රජයේ මැදිහත්වීම යෝග්‍ය වනු ඇති බවයි දේශීය ආදායම් නිලධාරීන් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අනුව මෙම RAMIS පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පෙනීයන හෙයින් මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීමේ හැකියාව විමර්ශනය කොට නිගමන ඉදිරිපත් කිරීම සඳහා කෝපා කමිටුව විසින් අනු කමිටු දෙකක් පිහිටුවීමට යෝජනා කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුව එක්ව පිහිටුවීමට නියමිත කමිටුව මගින් අපේක්ෂා කෙරෙන්නේ රැමිස් (RAMIS) ගිවිසුමට අදාළ නීතිමය තත්ත්වයන් විමසා බැලීමයි.

මොරටුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව පිහිටුවනු ලබන කමිටුව මගින් උක්ත මෘදුකාංග පද්ධතිය යාවත්කාලීන කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලනු ඇති.

අදාළ කරුණු පිළිබඳ නිගමන ඇතුළත් වාර්තා සති 06ක් ඇතුළත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟතාවය පළ වී තිබෙනවා.

Share This