මාර්ග සංවර්ධන කටයුතුවලට නව කොන්ත්‍රාත්කරුවන් යොදාගැනීමට අවධානය

මාර්ග සංවර්ධන කටයුතුවලට නව කොන්ත්‍රාත්කරුවන් යොදාගැනීමට අවධානය

මාර්ග සංවර්ධන කටයුතු වලදී වඩාත් කඩිනමින් එම සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා නව කොන්ත්‍රාත්කරුවන් හදුනාගෙන ඔවුන්ට අවස්ථාව ලබාදීමට කාළය එළඔ ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එබැවින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදාගතහැකි නව කොන්ත්‍රාත්කරුවන් සොයා ඔවුන්ගේ ශක්‍යතාවන් වහා සොයාබලන ලෙසයි අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

ඒ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදීයි.

මේ අතර මාතර, මහනුවර, රත්නපුර, ගම්පහ, බදුල්ල, හම්බන්තොට, මාතලේ, කලුතර ඇතුළු දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක මාර්ග සංවර්ධනය කඩිනම් කිරීම සඳහා ඉක්මනින් පියවර ගැනීමට කටයුතු කරන ලෙස මහාමාර්ග අමාත්‍යවරයා අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මේ වන විට ලංකාවේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වන බැවින් ගාල්ල, රූමස්වල, උනවටුන ආදී සංචාරක කළාප තුළ පවතින මාර්ග ඉක්මනින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන් බවද සඳහන්.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය වීරක්කොඩි මහතා කළ යෝජනාව අනුමත කරමින් ශ්‍රී ලංකාව පුරා බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉදි කළ ඉතා පැරණි යකඩ පාලම් ගණනාවක් තිබෙන බවත් ඒවා සංවර්ධනය කර ඉතා ආකර්ෂණීය සංචාරක ගමනාන්ත බවට පත්කළ හැකි බවත් පෙන්වා දුන්නා.

ලොව පුරා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් බ්‍රිජ් වැනි ජනප්‍රිය සංචාරක ගමනාන්ත පවතින බවත් ශ්‍රී ලංකාවේද දෙමෝදර ආරුක්කු පාලම වැනි ඉතා වටිනා සහ සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි ස්ථාන පවතින බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරිය එම ස්ථාන සංවර්ධනය කිරීම සංචාරක ආකර්ෂණයට ඉතා වැදගත් විය හැකි බවත් සඳහන් කර තිබෙනවා.

මේ අවස්ථාවේ ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා එය ඉතා වැදගත් යෝජනාවක් බවත් ඒ අනුව ගතහැකි පියවර ඉක්මනින් සොයා බලන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නා.

එසේම මාර්ග ආසන්නයේ විදුලි කණු ස්ථාපනය කිරීමේදී ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය පාර්ශවයන් සමග සාකච්ඡා කොට නිවැරැදි වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ මධුර විතානගේ මන්ත්‍රීවරයා මෙහිදී අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා අවශ්‍ය පියවර ඉක්මනින් ගැනීමට කටයුතු කරන බව මාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කල බවයි පාර්ලිමේන්තු නිල ෆේස් බුක් ගිණුමේ සඳහන් වන්නේ.

විශේෂයෙන් මාර්ග සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නිවැරදි ක්‍රියාමාර්ග ඉක්මනින් ගැනීම ඉතා වැදගත් වන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ‍ක්‍රියාත්මක කරන ලෙසත් ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අදාළ පාර්ශවයන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම කාරක සභාව සඳහා නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර මහතා, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සහ ජානක වක්කුඔුර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි,වීරසුමන වීරසිංහ, මධුර විතානගේ, සම්පත් අතුකෝරල, ඉසුරු දොඩන්ගොඩ, කාදර් මස්තාන්, සංජීව එදිරිමාන්න, ඩයනා ගමගේ, ගුණතිලක රාජපක්ෂ, යන මහත්වරු ඇතුළු තවත් මනිත්‍රීවරු පිරිසක් සහභාගි වූහ. එමෙන්ම මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයින් වන වී. රාධක්‍රිෂ්ණන්, අමරකීර්ති අතුකෝරල සහ එච්. නන්දසේන යන මහත්වරුද සහභාගී වුණා.

Share This