බෞද්ධ උපදේශක සභාව 12 වැනි වරට රැස්වෙයි – ජනපති කෙරෙහි විශ්වාසය තබන්න මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)

බෞද්ධ උපදේශක සභාව 12 වැනි වරට රැස්වෙයි – ජනපති කෙරෙහි විශ්වාසය තබන්න මහා සංඝරත්නය ඉල්ලයි (වීඩියෝ)

දූරදර්ශී සහ ප්‍රායෝගික දැක්මක් සහිත නායකයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක‍ෂ මැතිතුමා කෙරෙහි විශ්වාසය තබමින් ජනතා අපේක‍ෂාවන් ජයග්‍රහණය කරවීමට එක්වීම සියලු පාර්ශ්ව සතු වගකීමක් බව මහා සංඝරත්නය පවසනවා.

මේ අදහස් පළ වුණේ 12 වැනි වරට ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමටත් අභියෝග හා ආර්ථීක දුෂ්කරතා හමුවේ රට ගොඩනැගීමටත් ජනාධිපතිතුමා කළ මෙහෙය අගයමින් බෞද්ධ උපදේශක සභාවේදී මහා සංඝරත්නය අදහස් පළ කළා.

ප්‍රපාතයට යමින් තිබූ රට, ජාතිය හා උරුමයන් බේරා ගැනීමට සිටි එකම නායකයා ලෙස ගෝඨාභය රාජපක‍ෂ මැතිතුමා කෙරෙහි තැබූ විශ්වාසය කඩවී නැති අතර කූරගල පුදබිම, මුහුදුමහා විහාරය ඇතුළු උතුරු නැගෙනහිර, වෙහෙර විහාරස්ථාන රැක ගනිමින් දැයට උරුමකර දීමට පසුගිය දෙවසර තුළ ජනාධිපතිතුමා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවද දැනුවත් කළ යුතු බව උන් වහන්සේ පෙන්වා දෙනවා.

එමෙන්ම රටේ ජනතාව මුහුණපාන ගැටළු පිළිබඳ සැබෑ තොරතුරු ඉදිරිපත් කර විසඳුම් සෙවීමට ජනාධිපතිතුමාට සහයවීම බෞද්ධ උපදේශක සභාවේ වගකීමක් විය යුතු බව මහා සංඝරත්නය මෙහිදී සඳහන් කළා.

අණපනත්, කථීකා සම්මතකර ගැනීමට මහා සංඝරත්නයේ මගපෙන්වීම තමා අපේක‍ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා විනාශයට යමින් තිබූ සිංහල, බෞද්ධ උරුමය කොවිඩ් බාධක හමුවේ වුව ද රැක ගනිමින් බහුතර ජනතාවගේ අපේක‍ෂාවන් ඉටු කළාක් මෙන් එම ඓතිහාසික ස්ථාන සංවර්ධනයට ඉදිරියටත් කැපවන බවත් ප්‍රකාශ කළා.

Share This