පෙට්‍රල් නිසා රෝහල්ගතවන සංඛ්‍යාව 50%කින් ඉහළට

පෙට්‍රල් නිසා රෝහල්ගතවන සංඛ්‍යාව 50%කින් ඉහළට

නිවෙස්වලදී පෙට්‍රල්වලට ගිනි ඇවිළීම හේතුවෙන් පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව 50%කින් පමණ ඉහළ ගොස් ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණ අතර නිවෙස් තුළ පෙට්‍රල් ගබඩා කර තබා ගැනීම හේතුවෙන් මෙසේ රෝගීන් ඉහළ යනු ඇති බවට අනුමාන කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ගෑස් හිඟය නිසා මේ වන විට වැඩි පිරිසක් දර ලිප් භාවිත කරන බවත් ලිප් පත්තු කර ගැනීම සඳහා භූමිතෙල් වෙනුවට පෙට්‍රල් භාවිතා කිරීමට යෑමෙන් පිලිස්සුම් තුවාල ලබන පිරිස ඉහළ ගොස් තිබෙන බවත් විශේෂඥ වෛද්‍ය ගයාන් ඒකනායක මහතා පවසනවා

පෙට්‍රල් අනාරක්ෂිත ලෙස ගබඩා කර තබා ගෙන නිවෙස ඉන්ධන පිරවුම් හලක පවතින අවදානම් තත්ත්වයට පත් කර නොගත යුතු බව ද ඔහු අවධාරණය කරනවා

ජෙනරේටරයට පෙට්‍රල් දමන අවස්ථාවේ පසෙක ඉටිපන්දමක් තැබීමෙන් ඇති වූ ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා පැමිණි දෙදෙනකු පසුගිය සතියේ මියගිය බව ද ඒ මහතා සඳහන් කළා

මෙයට ඉහත පිලිස්සුම් තුවාල සහිතව රෝහල්ගත වන පිරිස සැලකීමේදී ඒවා බොහොමයකට හේතු වී තිබුණේ භූමිතෙල්, උණු වතුර හෝ ගිනි අඟුරු පාවිච්චිය බවත් ඉකුත් සතියේ වැඩිම පිරිසක් පැමිණියේ පෙට්‍රල් නිසා ඇති වූ පිලිස්සුම් තුවාල නිසා බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා

පෙට්‍රල් දහනයේදී අධික උෂ්ණත්වයක් ඇති වන නිසා ගින්නට හසුවන ඕනෑම දෙයක් පූර්ණ වශයෙන් ගිනි ගැනීමට වැඩි ඉඩක් තිබෙන බවත් මේ නිසා නිවෙසේ පෙට්‍රල් රැස් කර තබා ගැනීම දැඩි අවදානම් බවත් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා

පවතින ඖෂධ හිඟය හේතුවෙන් මෙතෙක් පැවති දියුණු රටවල ප්‍රතිකාර ක්‍රමවේද වෙනුවට පිලිස්සුම් තුවාල සඳහා රෝහල්වල ‍ප්‍රතිකාර දීමේ ක්‍රමවේදවල යම් වෙනසක් මේ වන විට සිදුව තිබෙන බවත් තුන්වැනි ලෝකයේ රටක් ලෙස ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙන බවත් කී ඒකනායක මහතා ඖෂධ ගෙන්වීම සඳහා ඩොලර් වැය කිරීම පසෙක තබා දේශීය නිෂ්පාදන උපයෝගි කර ගනිමින් පිලිස්සුම් තුවාල සහිත රෝගීන්ට ප්‍රතිකාර කරන බව ද අවධාරණය කරනවා

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සෞඛ්‍ය සේවය අර්බුදයකින් තොරව පවත්වාගෙන යෑමට නම් ජනතාව ඉතා හොඳ අවධානයකින් කටයුතු කළ යුතු බව ද පෙට්‍රල් ළඟ තබාගෙන සාමාන්‍ය කටයුතු කිරීම අනතුරකට අත වැනීමක් බව ද ඒ මහතා පෙන්වා දෙනවා

Share This