පෙට්‍රල් අඩු කළාට ගාස්තු අඩු කරන්න බෑ – ත්‍රි රෝද රථ සංගම්

පෙට්‍රල් අඩු කළාට ගාස්තු අඩු කරන්න බෑ – ත්‍රි රෝද රථ සංගම්

ඉන්ධන මිල පහත දැමීමට කටයුතු කළ ද ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ත්‍රි රෝද රථ සංගම් පවසනවා.

QR කේතය හරහා ලබා දෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බැවින් කළු කඩයෙන් හෝ වෙනත් මාර්ග ඔස්සේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීමට සිදු වීම ඊට හේතුව ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ගාස්තු අඩු කිරීමටනම් දිනකට පෙට්‍රල් ලීටර 05ක් ලබා දෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.

මේ වනවිට ත්‍රි රෝද රථ සඳහා ලබා දෙන්නේ සතියට ඉන්ධන ලීටර 05ක් පමණයි.

ලීටරයකින් කිලෝමීටර 20ක් පමණ ධාවනය කිරීමට හැකියාව පවතින මොහොතක සතියට ඉන්ධන ලීටර 05ක් කිසි විටෙකත් ප්‍රමාණවත් නොවන බැවින් තම වෘත්තීය සිදුකර ගනිමින් ජිවනෝපාය කරගෙන යාම සඳහා කළු කඩයෙන් හෝ වෙනත් මාර්ග ඔස්සේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීමට සිදුව ඇති බවයි සමස්ත ලංකා ත්‍රි රෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය ලලිත් ධර්මසේකර මහතා ප්‍රකාශ කළේ.

එම නිසා මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රි රෝද රථ සඳහා දිනකට පෙට්‍රල් ලීටර 05ක් ලබා දෙන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.

එසේම ගාස්තුව ප්‍රදර්ශනය කිරීමද අනිවාර්ය කළ යුතු බවට පෙන්වා දෙන ලලිත් ධර්මසේකර මහතා ඊට හේතුව ලෙස ප්‍රකාශ කළේ ඒ හරහා සිතූ සිතූ ලෙස ගාස්තු අය කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොපවතින බවයි.

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් 92 ලීටරයක මිල රුපියල් 40කින් සහ පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 30කින් අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කළ අතර ඒ අනුව පෙට්‍රල් 92 නව මිල ලීටරයක් රුපියල් 410 ක් වන අතර පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 510 ක්.

Share This