පැය හතෙන් ‘ඖෂධ නියාමන අධිකාරියේ’ දත්ත ලක්ෂ 11ක් මැකූ හැටි

පැය හතෙන් ‘ඖෂධ නියාමන අධිකාරියේ’ දත්ත ලක්ෂ 11ක් මැකූ හැටි

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ සංයුතිය අඩංගු දත්ත මීට පෙර අවස්ථා කිහිපයකදී ද ඖෂධ මාෆියාවේ පුද්ගලයන් විසින් එපික් ලංකා ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ සහායක ඉන්ජිනේරුවරයා හරහා මැකීම හා සැඟවීම කර ඇති බවට අනාවරණය වන බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (06) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා හමුවේ කරුණු වාර්තා කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් අද (07) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද කරුණු සඳහන් කළා.

රට තුළට ගුණාත්මකභාවයෙන් උසස් ඖෂධ ගෙන ඒමට ඉඩ නොදීමට පැරණි ඖෂධ ජාවාරම්කරුවන් ගෙන යන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට රාජ්‍ය සේවකයන්, කූට ව්‍යාපාරිකයන් මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ද සම්බන්ධ බව රජයේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි ලක්ෂ 11ක් පමණ දත්ත මකා දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එපික් ලංකා ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ සහායක ඉන්ජිනේරුවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස කරුණු අනාවරණය වුණා.

 

නඩුව කැඳවනු ලැබූ මුල් අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් කර සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ඇප ඉල්ලීම සඳහා කරුණු දක්වමින්:

“ස්වාමිනී, මෙම සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 29 වැනි දින අධිකරණයට ඉදිරිපත් කර අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු විසින් ජූලි 09 වැනි දින පාන්දර 3.47 සිට උදෑසන 10.29 වන තෙක් පැය 7 කාලය තුළ ඔහුගේ පෞද්ගලික දුරකථන මාර්ගයෙන් දත්ත ගබඩාවට පිවිස ඇති බවට අනාවරණය වුණා. ලක්ෂ 11 පමණ ඔෟෂධවල දත්ත ඇතුළත් අංශයම මොහු විසින් මකා දමා තියෙනවා. මේ සැකකරු විසින් ඒ සඳහා ලබා ගත් ප්‍රවේශය ඇතුළත් ඉතිහාසය මකා දමා තියෙනවා.”යි සඳහන් කර තිබෙනවා.

“සැකකරුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසන්නේ මෙය අත්වැරදීමකින් සිදු වූවක් බවය. මෙම දත්ත ගබඩාවේ දත්ත හා ආකෘති කියා අංශ දෙකක් පවතිනවා. මේ දත්ත මැකීම එකවර කළ දෙයක් නොවේ ස්වාමිනී, අත්වැරදීමකින් වුණත් ලේඛන 50 හෝ 60 මැකෙන්න පුළුවන්. හැබැයි ලක්ෂ 11 එහෙම අත්වැරදීමකින් මැකෙන්න විධියක් නෑ. මොහු පොඩි බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයෙක්. සැකකරු විසින් මේ සියලු දත්තයන් එකට එක් කර ගොනුවක් සාදා අනතුරුව කිහිපවරක් පරිගණකයට නියෝගයන් ලබාදී දත්ත මකා දමා තියෙන්නේ.”

“මේ සැකකරු මෙම ආයතනයේ රැකියාවට ඒමට පෙර නාවික හමුදාවේ නිලධාරියෙක් වශයෙන් වසර 03ක් සේවය කර තියෙනවා. එවැනි වගකිවයුතු නිලධාරියෙක් අතින් මෙවැනි වැරදීමක් වෙන්න පුළුවන්කමක් නැහැ. මෙම සැකකරු මෙම ආයතනයෙන් ඉවත් වී වෙනත් ආයතනයකට යන්න පත්වීම අතේ තියන් තමයි මෙලෙස දත්ත විනාශ කර තියෙන්නේ.”

“මේ කාලය ඖෂධ සම්බන්ධයෙන් විශාල ඉල්ලුමක් පවතින කාලයක්. බෙහෙත් නිකන් ගෙනෙන්නේ නෑ. අවශ්‍යතාවක් මතු වුණොත් ටෙන්ඩරය ඉදිරිපත් කරනවා. ස්වාමිනී, අපි විමර්ශන කරන්නේ ජූලි මාසේ 09 වැනිදා ජාතික ඔෟෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකීම ගැන පමණක්ම නෙමේ. මේක මහා කුමන්ත්‍රණයක්. මීට පෙරත් මෙම දත්ත පද්ධතියේ දත්ත මැකීම්, සැඟවීම් වෙලා තියෙනවා.”

“ඖෂධමාෆියාවේ පුද්ගලයන් මේ පුද්ගලයා හරහායි සියලු සම්බන්ධීකරණය කර තියෙන්නේ. ඔෟෂධ නියාමන අධිකාරියට දත්ත නියාමනය කරන්න බැහැ. අලුත් ඉල්ලුම්පත් සැඟවීම කරන විට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ටෙන්ඩර් ඉල්ලුම්පත්.”

“මේක වෙන්නේ මෙහෙමයි ස්වාමිනී. ගුණාත්මක බවින් යුත් ඖෂධ මෙරටට ගෙන්වන්න නවක සමාගමක් ටෙන්ඩර් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධනියාමන අධිකාරියේ ඇතැම් නිලධාරීන්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ටෙන්ඩර් ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් විතරයි.

ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මක බවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ ස්වාමිනී, මේ රෝගී ජීවිත සම්බන්ධයෙන් වූ කාරණාවක්. අපි දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සහකාර ඉන්ජිනේරුවරයා විතරයි. නමුත් මේකට රාජ්‍ය සේවකයෝ, කූට ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අභ්‍යන්තර නිලධාරීන්ගේත් සහාය ලැබී තිබෙනවා.”

“මේ සැකකරු ඇයි මේ දත්ත විශාල ප්‍රමාණයක් මැකුවේ. ලක්ෂ 11ක් වැනි විශාල දත්ත ප්‍රමාණයක් එකවර මකන්න මේ සැකකරුට විශාල උත්තේජනයක් ලැබෙන්න ඕනේ. මෙම අධිකරණ ශාලාව පුරවන්න පුළුවන් තරම් ලේඛන ප්‍රමාණයක් පරිගණකය ප්‍රතික්ෂේප කරමින් තුන් වරක් මැකීමට විධාන ලබාදීම වැරදීමකින් වුණ දෙයක් නොවේ ස්වාමිනී. අපි ඒ ගැන සොයනවා.”

“මෙම සැකකරු එපික් ලංකා සමාගමෙන් ඉල්ලා අස්වී වැල්ලවත්ත ප්‍රදේශයේ ඩිජිටල් සොලියුෂන් නමැති පෞද්ගලික සමාගමකට එක්වීමට සූදානම්ව සිටියදීත් එපික් ලංකා සමාගම ජාතික ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියේ පරිපාලන වගකීම මෙම සැකකරු වෙතම පවරා තිබීම බරපතළ සැකයකට තුඩු දී තිබෙනවා. ඒ වගේම මේ කුමන්ත්‍රණයට සම්බන්ධ ජාතික ඖෂධ අධිකාරියේ අභ්‍යන්තර නිලධාරීන් ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නේ.”

“තවම දින හතයි පසු වුණේ. මෙම දත්ත ලක්ෂ 11 මිල කළ නොහැකියි. මේ වන විට දත්තවල වටිනාකම ගැන විධිමත් ගණනය කිරීමක් සිදු වෙනවා. සැකකරුට ඇප ලබා දීමේදී මෙම අවස්ථාවේ සාක්ෂිවලට බාධා ඇති විය හැකියි ස්වාමිනී. එම නිසා සැකකරුට ඇප ලබාදීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ වෙනවා.”

කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරියහොත් සාක්ෂිවලට බලපෑම් ඇති විය හැකි බව සලකා සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

Share This