පාකිස්ථානයේ ගොවි විරෝධතා තීව්‍ර වෙයි

පාකිස්ථානයේ ගොවි විරෝධතා තීව්‍ර වෙයි

පාකිස්ථානයේ ගොවීන් විසින් ආරම්භ කළ විරෝධතා තවදුරටත් තීව්‍ර වී තිබෙනවා.

ඒ අනුව පාර්ශ්ව කිහිපයක් ගොවි විරෝධතා සම්බන්ධයෙන් රජයට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉස්ලාමාබාද් නුවරට රැස්ව විරෝධතාවයේ නිරත ගොවීන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන්දීමට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්ගේ ආණ්ඩුව අපොහොසත් වුවහොත් පාකිස්ථානයේ සමස්ථ මෙහෙයුම් පද්ධතිය අඩපණ වනු ඇතැයි එරට Kissan Ittehad පක්ෂය අනතුරු අඟවනවා.

එම පක්ෂයේ සභාපති කලීඩ් හුසේන් පවසන්නේ ගොවීන්ගේ ඉල්ලීම් පිළිගැනීමට තීරණය කළ හොත් වහාම ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලෙසයි.

එමෙන්ම ගොවීන්ගේ ඉල්ලීම්වලට රජය යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් තමන්ගේ එක කැඳවීමකින් රට පුරා සිටින ගොවීන් මිලියන ගණනක් ඉස්ලාමාබාද් නුවරට රැස්වනු ඇති බවටයි ඔහු අනතුරු අඟවා ඇත්තේ.

විදුලිබිල පහත හෙලීම සහ ආර්ථික අර්බුද හමුවේ තමන් මුහුණ පා සිටින ගැටළුවලට විසඳුම් දෙන්නැයි ඉල්ලා පාකිස්ථානයේ ගොවි ජනතාව ආරම්භ කළ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මේ වනවිට සතියකට ආසන්න කාලයක් පුරා ක්‍රියාත්මකයි.

ගැටළුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් විරෝධතාවල නිරත ගොවි ජනතාව හා රජය අතර සාකච්ඡා පැවැත්වුවද මේවනතෙක් සිය ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදීමට රජය අපොහොසත්වී ඇති බවටයි ගොවීන් චෝදනා නගන්නේ.

එහෙත් රජය පවසන්නේ අදාළ සාකච්ඡා වලදී නළ ළිං බිල්පත් ගෙවීම් ප්‍රමාද වීම් වැනි ගොවීන් ඉදිරිපත් කළ ඇතැම් කරුණු රජය පිළිගත් බව හා ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි.

එවන් පසුබිමක් තුළ ගොවීන් ගෙන යන අඛණ්ඩ විරෝධතා අසාධාරණ බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා පවසනවා.

කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා එළඹෙන සඳුදා දක්වා රජයට කල් ලබා දෙන බවයි විරෝධතාවයේ නිරත ගොවීන් පවසන්නේ.

අනතුරුව සිය විරෝධතා දැඩි කරන බව ගොවීන් පවසනවා.

කෙසේවෙතත් පකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා පවසන්නේ විරෝධතාකරුවන්ට හෝ ඔවුන්ට සහය දෙන කිසිඳු දේශපාලන පක්ෂයකට අගනුවර රතු කලාපයට ඇතුළුවීමට අවසර නොලැබෙන බවයි.

එම කලාපය තුළ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ද පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා

Share This