ප්‍රචණ්ඩත්වයට මමත් විරුද්ධයි, මර්ධනයට විරුද්ධ නම් මුලින් නවක වදය නතර කරළා එන්න

ප්‍රචණ්ඩත්වයට මමත් විරුද්ධයි, මර්ධනයට විරුද්ධ නම් මුලින් නවක වදය නතර කරළා එන්න

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ගාලු මුවදොර අරගලකරුවන්ගේ පාර්ශ්ව කිහිපයක් සමඟ අද (05) ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

මේ වනවිට පවතින්නේ ආර්ථික අරගලයක් බවත් එය ජය ගැනීමට අවශ්‍ය කරුණු සහිතව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්ධනය වෙනුවෙන්ම කටයුතු කරන පිරිස් විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළින්ම නවකවදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම අද රටේ විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදය බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව සඳහන් .

වර්ජන පැවතියද, වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉටුකළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම සියළු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් සකසා ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිතුමා එම කණ්ඩායමට සියලු ආගම් නියෝජනය සහ කාන්තා නියෝජනය ද අත්‍යාවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා.

මෙහිදී අරගලකරුවන් නියෝජනය කරමින් පැමිණි පාර්ශ්ව ඉල්ලා සිට ඇත්තේ සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකාරිකයන් අනීතිකව හෝ අත්තනෝමතිකව සිදුවන අත්අඩංගුවට ගැනීම් නැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටයි.

මේ වන විටත් කිසිදු වරදක් නොකොට භූමියේ රැදී සිටින බොහෝ අරගලකරුවන් ඉන් පිටතට යෑමට බියව සිටින්නේ අත්අඩංගුවට ගැනීම් සිදුවන නිසාවෙන් බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

Share This