නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයක්?

නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයක්?

මෙරටට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභයක් ගෙන ඒමට සමත් අක්කර 400 ක නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයකට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමි වී තිබෙනවා.

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යට‌තේ දේශීය සහ විදේශීය රෙදිපිළි නිෂ්පාදකයන් සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත මෙම විශේෂීත රෙදිපිළි නිෂ්පාදන කලාපය කර්මාන්ත විෂය භාර අමාත්‍යංශය සමඟ සම්බන්ධීකරණය වෙමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි මෙහිදී අනාවරණය වී ඇත්තේ.

මෙම අවස්ථාවේදී විස්තරාත්මකව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහතා කාරක සභාවට දන්වා සිටියේ දැනටමත් එරාවුර්හි උසස් ප්‍රමිතියෙන් යුතු ඇඟළුමි විදේශීය වෙළඳපොළට නිෂ්පාදනය ඇරඹීම සඳහා කම්හල් දෙකක් සිය කැමැත්ත පළ කර ඇති බවයි.

එමෙන්ම ඒ සම්බන්ධව සිය අදහස් ඉදිරිපත් කළ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පෙන්වා දුන්නේ මෙම කම්හල්වලට මෙරට අනෙකුත් කම්හල් සඳහා ලැබෙන බදු සහන වලට අමතර වාසි ලබාදෙන්නේ නම් එය අසාධාරණයක් බවයි.

මෙම කලාපය දේශීය සහ විදේශීය රෙදිපිළි නිෂ්පාදකයන් අරමුණු කරගත් කලාපයක් මිස ඇඟලුම් කර්මාන්තශාලා ස්ථාපනය කරන්නක් නොවන බව අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා සඳහන් කළා.

රට මුහුණ දී සිටින තත්ත්වය අනුව මෙබඳු ආයෝජන අවස්ථා අතිශය වැදගත් බව පිළිගත් රජයේ මුදල් පිළිබඳව කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා‍ එසේ වුවද සියලු රෙදිපිළි නිෂ්පාදකයන්හට සමාන අවස්ථා සහ බදු සහන හිමිවීම අත්‍යාවශ්‍ය හෙයින් එම සංශෝධනයට යටත්ව එරාවුර් ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත මෙම විශේෂීත රෙදිපිළි නිෂ්පාදන කලාපයට කාරක සභාවේ අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළා.

Share This