දේශගුණික විපර්යාස පිළිබඳ  විද්‍යාඥ ක්ලෝඩ් ලෝරියස් මියයයි

දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාඥ ක්ලෝඩ් ලෝරියස් මියයයි

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට මිනිසුන් වගකිව යුතු බව ඔප්පු කිරීමට ගවේෂණ කළ ප්‍රමුඛ ග්ලැසියර විද්‍යාඥයෙකු වන ක්ලෝඩ් ලෝරියස් මියගොස් තිබෙනවා.

ක්ලෝඩ් ලෝරියස් මහතා මියයන විට 91 වියෙහි පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු සිය ජීවිත කාලය තුළ ග්‍රීන්ලන්තය සහ ඇන්ටාක්ටිකාවේ දේශගුණ විපර්යාස පිලිබඳ ගවේෂණ 22ක් මෙහෙයවා ඇති බව වාර්තාවල සඳහන්.

මෙම විෂයන් සම්බන්ධයෙන් ඔහු තුළ තිබූ ආශාව සහ කැපවීම පෘථිවියට සිදුවීමට නියමිත ව්‍යසනයක් හඳුනා ගැනීමට සහ පුරෝකථනය කිරීමට මග පෑදු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

ප්‍රංශ ජාතික විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානය (CNRS) පැවසුවේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මිනිසා විසින් සිදුකරන ලද පරිසර දූෂණය නිසා බව තහවුරු කිරීමෙන් අනතුරුව ඔහු ඒ පිළිබඳව ක්‍රියාකාරී වූ අතර 1988 දී දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක විශේෂඥයා විය.

දේශගුණික විපර්යාස පිළිබඳව ගවේෂණ සිදුකර ඒවාට උපකල්පන ලබාදීමේ මහගු මෙහෙවරක් ඉටුකළ ක්ලෝඩ් ලෝරියස් මහතා කීර්තිමත් බ්ලූ ප්ලැනට් ත්‍යාගය ලැබූ පළමු ප්‍රංශ ජාතිකයා වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This