තහනම මැද තවමත් බෙදන ගෑස්

තහනම මැද තවමත් බෙදන ගෑස්

ප්‍රමිතියට අනුකූලව එතිල් මර්කැප්ටන් රසායනිකය ගෑස් සිලින්ඩරවලට ඇතුළත් කරන තුරු ගෑස් වෙළඳපලට නිකුත්කිරිම අත්හිටුවීමට පාරිභෝගික අධිකාරිය පියවර ගත්තා.

කෙසේ වෙතත් ගෑස් සමාගම් ගෑස් සිලින්ඩර අලෙවි කිරීම තවමත් අඛණ්ඩව සිදුකරන බවයි වාර්තා වන්නේ.

දැනට ගෑස් සිලින්ඩර ආශ්‍රිතව උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ගෑස් වෙළඳපලට නිකුත්කිරීම අත්හිටුවන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකටම ලිඛිතව නියෝග කර තිබෙනවා.

කෙසේවෙතත් ගෑස් සමාගම් වෙළඳපලට ගෑස් නිකුත් කිරීම ඊයේ සිට අඛණ්ඩව සිදුකරන ආකාරය දැකගත හැකි වුණා.

මේ සම්බන්ධයෙන් ලාෆ් සමාගමෙන් අප විමසීමක් ද කළා.

දිවයිනට පැමිණෙන ගෑස් නෞකාවල සාම්පල පරීක්‍ෂා කිරීමට ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ මෙම සාම්පලවල පරීක්‍ෂණ වාර්තා දින කිහිපයක් තුළ නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.

ගෘහස්ත එල්.පී. ගෑස් සිලින්ඩරවල අඩංගුව ප්‍රෝපේන් සහ බියුටේන් සංඝටකවල සංයුතිය සම්බන්ධයෙන් මේ වන විට වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

මේ පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ සාමාජිකයින්ද ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් ඊයේ චෝදනා එල්ල කළා.

මේ අතර, ගෑස් සිලින්ඩරවල මෙන්ම ගෑස් උදුන් සහ අනෙකුත් උපාංගවල ප්‍රමිතිය පරීක්‍ෂා කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, අදත් ප්‍රදේශ කිහිපයකින් ගෑස් කාන්දුවීම් සහ උදුන් පුපුරායෑමේ සිද්ධීන් වාර්තා වුණා.

Share This