ඩීසල්වලට ටෝකන් පතක් – නිකුත් කරන්නේ ‘තෝරාගත් ඉන්ධනහල් වෙතින්’ පමණයි

ඩීසල්වලට ටෝකන් පතක් – නිකුත් කරන්නේ ‘තෝරාගත් ඉන්ධනහල් වෙතින්’ පමණයි

චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාව සඳහා නොමිලයේ ලබා දීමට පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක ප්‍රමාණය වහාම ගොවි ජනතාව වෙත බෙදාහරින්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ යටතේ මෙවර මාස් කන්නයේ අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට නොමිලයේ ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ඇති.

ඒ අනුව හෙක්ටෙයාර් 01ක් සඳහා ඩීසල් ලීටර් 15ක් බැගින් ලබා දීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමේදී සිදුව ඇති ප්‍රමාදය සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සාකච්ඡාවක් කැඳවා තිබුණු අතර එම සාකච්ඡාවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරින් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය, හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරිහු ද සහභාගි වුණා .

මෙම සාකච්ඡාවේ දී ගන්නා ලද තීරණ අනුව අදාළ ඉන්ධන තොගය බෙදාහැරීමේ කටයුතු ලබන සතියේ සිට ඇරඹීමටත්, ඊට අදාළ ටෝකන් පත් සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ගොවි ජනතාවට නිකුත් කිරීම කඩිනම් කිරීමටත් තීරණය වුණ බවයි සඳහන් වන්නේ .

එම ටෝකන්පත්වලට අදාළ ඉන්ධන ප්‍රමාණයන් නම් කර ඇති ඉන්ධනහල් වෙතින් ගොවීන්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් සපයනු ලබනවා.

ගොවි ජනතාව වෙත නොමිලයේ නිකුත් කරන ඉන්ධන ලබා ගැනීමේ දී යම් ගැටලුවක් මතුවුවහොත් වහාම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත හෝ සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස්වරුන්ට දැනුම් දෙන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .

මෙම ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු සඳහා රුපියල් මිලියන 99ක මුදලක් වැය වන අතර එම මුදල් ප්‍රමාණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් මෙහිදී සඳහන් කළා

Share This