ජනපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

ජනපති ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (ඡායාරූප)

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා.

දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිතුමා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමඟ සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සොයා බැලුවා.

මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මඟ හරවා ගනිමින් යල කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

පසුගිය වසර දෙක තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන මඟින් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකළපුව ඇතුළු දිස්ත්‍රික්ක 09ක සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට හැකි වූ බව නිලධාරීන් ජනාධිපතිවරයාට පෙන්වා දුන් අතර දිවයින පුරා ඇති සෙසු පුරන් කුඹුරු ද හඳුනාගෙන හිමිකරුවන් සහ ගොවි සංවිධාන මැදිහත්ව අස්වැද්දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ගොවිජන බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව දී ඇති අතර ඒ ඒ ආයතනවල කාබනික පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බලා ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට තීරණය කෙරුනා.

එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතවරයා අවධාරණය කළා.

 

(ඡායාරූප)

 

 

 

 

Share This